Friday, July 31, 2009

තනිකම

වසන්තය ගෙවී ගිය බව

කොවුලා දැනුම් දුන්විට මට

දෑසේ කදුළු අතරින්

ඔබේ වත වරක් දැකගතිමි මම

සදාකල් ජීවිතය පුරාවට

විදපුරුදු තනිකම

ආයෙමත් හොරෙන් විත්

කොදුරමින් තනි රකියි

මගෙදිවියෙ හැමදාම

Wednesday, July 22, 2009

කාලය සහ ආදරය

ඔබ මා එක්කල

සුන්දර නගරය

අද ඇත

කුණු කසලින් පිරිලා

දෑත් වෙලා අපි

පෙම්බස් දෙඩු ඒ

බස් නැවතුම අද

යාචකයන් හට බදු දීලා

දෙසවන ලංකොට

මිමිණු පෙම්බස්

මේ වන විට ඇත

ගොළු වීලා

මේ බස් රිය තුල

අද මා පමණයි

ඔබ ගොස් වෙනතක

සිත බැදිලා

Monday, July 20, 2009

ලා දළු බෝපත්...

මම අද ඉදිරිපත් කරන්න යන්නෙ තවත් ගිටාර් සටහනක්. ලස්සන ස්ලෝ බීට් එකකට ගැයෙන මේ සිංදුව කියන්නෙ අපේ රටේ බොහොම ජනප්රිවය ගායකයෙක්. ඒ කරුණාරත්න දිවුල්ගනේ මහත්තයා. ගායනා කරන බොහෝ ගීතරසික සමාජය ඉතාම ඉහලින් පිළිගැනුනත් පහුගිය කාලෙ එතුමගෙ අළුත් ගීතයක් නම් අපි ඇහැව්වෙම නැති තරම්. මගේ මතකය නිවැරදි නම් සංහිද පාමුලට පස්සෙ අළුත් සිංදු එකතුවක් එලි දැක්වුනේ නෑ. මේ ගීතය ලියල තියෙන්නෙ ගීත ක්ෂේත්රනයම හොදාකාරවම අදුරන ‍අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවො. බුද්ධ චරිතයේ ය‍ශෝධරාවත ගැන පැවසෙන මේ ගීතය සංගීතවත් කරල තියෙන්නෙ අ‍පේ රටේ තවත් නම ගිය සංගිතඥයෙක්. ඒ එච්.එම් ජයවර්ධන මහත්තය.

බුදුහාමුදුරුවො කිඹුල්වත්පුරේට තමන්ගෙ නෑදෑයින් බලන්න වැඩි වෙලාවෙ යසෝදරාවගේ හැසිරීම ඇසුරෙන් රචනා වුන මේ ගීතය ඕනෑම කෙනෙකුට රස විදිය හැකියි.


Em D/Em
ලා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ
Em G
යසෝධරා දේවී
Em G Bm
වාවනු බැරිතැන රහසේ හැඩුවා
D G Em
පෙර සංසාරේ ඇසුර මතක් වී

Em
ලේන කුලේ සිට ආගිය මගතොට
Em D G Em/D
සිටියා නොසැලෙන පහන් ටැඹක් සේ
Em Em/D Em
නිවන් දකින තුරු මේ සංසාරේ
Em Bm Em
පසුපස ආවා සෙවනැල්ලක් වී

Em
තැලී සෙනේ සිත සැලී හඩන විට
Em D G Em/D
වැටී දෙපා ලග යශෝදරාවෝ
Em Em/D Em
පිපී නිවන් මල් සාධුකාර දී
Em Bm Em
නිවී පහන් විය උදෑසනක් සේ

Friday, July 10, 2009

ආදරණිය ජීවිතය

ජීවිතය,

මම ඔබ දෙස ආදරයෙන් බැලුවෙමි

ඇත්තෙන්ම මම ඔබට ආදරය කළෙමි

ඔබට කරුණාව දැක්වූයෙමි

සතුටින් සිටීමට අවැසි සියල්ල ලබාදුනිමි

ඔබ සතුට වෙනුවෙන්ම දිවි කැප කලෙමි

මගේ රැකවරණය ඔබේ ආරක්ෂාව කලෙමි

ජීවිතය,

ඔබ මගේ ආදරය තේරුම් නොගත්තෙහිය

මගේ කරුණාව ඔබට වධ බන්ධනයක්ම විය

සතුටින් සිටීමට හැකිවුවත් ඔබ දුටුවේ දිවියේ වරද පමණකි

ඔබ වෙනුවෙන් කැපකළ දිවිය අපරාධයක සළකුණක් විය

ජීවිතය,

ඔබ මා පිළිකුල් කලෙහිය

ඔබ මට වෛර කලෙහිය

මා මිනීමරුවෙකු සේ සැලකුවේය

මාගෙන් මිදීමට අවැසි වූ තැන

මාගේ රැකවරනයෙන් ඔබ පලා ගියෙහිය

ජීවිතය,

අද ඔබ මා ළග නැත

මගේ ආත්මයද මා ලග නැත

ඒ මගේ ආත්මය ඔබ ලග තැබු නිසාය

දැන් මම ගන්ධබ්බ සෙයියාවෙන්

ඉබාගාතේ සැරිසරන්නෙමි

ඔබ ගැන මගේ වෛරයක් නැත

සැමදා තිබූ ආදරයේ වෙනසක්ද නැත