Thursday, October 19, 2017

කාලෙකින් හිතට දැනිච්ච ගීතයක් - මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා


ලෝකයේ ජීවත් වෙන හැමෝටම වගේ ප්‍රේමණීය අත්දැකීමක් තියනවා. ඒක විවාහයෙන් කෙලවර වෙනව නම් ඒ බොහොම ස්වල්පයක්. ජීවිතයේ තමන්ට හොඳටම ගැලපෙන කෙනා හම්බවීම අහම්බයක් කියලයි මට හිතෙන්නෙ. ඒත් ඒ අහම්බෙන් හම්බවෙන කෙනාත් තමන්ට නැති වෙන එකතරම් විප්‍රයෝගයක් තවත් කොයින්ද?

ජීවිතේ හැමදේටම ලඟින් හිටපු කෙනෙක් හුඟක් වෙලාවට අපට ඉන්නවා. ඒ අපේ ප්‍රේමවන්තයා හරි ප්‍රේමවන්තිය නම් ඒක තවත් මිහිරි අත්දැකීමක්. තමන්ගෙ දුක සැප බෙදාගන්න, කරදරයක් වුනහම පිහිටට ඉන්න, හිතට දුකක් ආපුවහම ඒක කියන්න, තමන්ගෙ කඩා වැටීමකදි ආපස්සකට යාමකදි අපිව දිරිමත් කරන්න මේ පෙම්වතා හරි පෙම්වතී හරි ඉන්න එක කොච්චර හොඳද?

ඒත් තමන්ව තේරුම්ගත්ත, තමන්ගෙ හැමදේටම හිටපු කෙනා දැන් නැතිවුනොත් දැනෙන අඩුව දුක අපිට දරාගන්න අමාරුයි.
මේ ඔක්කොම හැඟීම් කැටිකරල තියන ගීතයක් අහම්බෙන් මට හම්බවුනා. ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ මහත්තයා. අවුරුදු කීපයක් පරණ ගීතයක්. සින්දුවෙ සංගීතයත් එතුමගෙ. මේ හැගීම්බර සින්දුවෙ වචන ටික ප්‍රසන්න චන්දන බණ්ඩාරයන්ගෙ.

ඇත්තටම මේ සින්දුව ඇහැව්වෙ එක පාරයි. හිත ඒ තරමටම සින්දුවට ඇදිලා ගියා.

එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුනු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණිරසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

අනාගත වාළුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා
පුර පසක සඳ නොවී නුඹ අව පසක සඳවුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....

පොද වැස්ස,  මල් පිපුනු ගහ ගාව බංකුව පෙම්වතුන්ට කියාපු සම්පත්. ඒත් ඒ සම්පත් අද මට දුකක් ඇති කරලා. හැමදාම ඔබ මගේ හිත හැදුවා. මගේ හිත කොයි වගේද කියලා ඔබ දන්නවා. අදත් මම දුකින් ඉන්නෙ. ඒත් හිත හදන්න ඔබ ලඟින් නෑ. ඔබේ ඒ හිත හදන වචන තවමත් මගේ දෙසවන් සොයනවා. අපි අතරේ ප්‍රශ්න තිබ්බෙ නැතිවාම නොවෙයි. ඒත් අද මට හිතෙන්නෙ ඒ ප්‍රශ්න ප්‍රශ්න නෙමෙයි කියලා.

දැන් මට ඉන්නෙ මම විතරයි. මම දැන් තනිවෙලා. අනාගතේට ඔබ නැතුව මම කොහොම මුහුණ දෙන්නෙ. මම හිතාගෙන හිටියෙ ඔබ මගේ ලෝකෙ පුරහඳ වෙයි කියලා. එහෙම වුනානම් මගෙ ලෝකෙ කොයි තරම් එළිය වෙයිද? ඒත් ඇත්තටම ඔබ මගෙන් වෙන්වෙලා ගිහින්.

මට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මට අහිමි වෙච්ච ඔබ ගැන මගේ කවිය ලියන්න.


සින්දුවෙ සාර්ථකත්වයට වචන ටික වගේම සෝමතිලක ජයමහගේ ලයාන්විත කටහඩත් සෑහෙන දුරට බලපාල තියනවා.

Tuesday, July 11, 2017

ප්‍රතිග්‍රහනය - සඳාත්මය - සොලසක් රූ




ගෙවීයන මාස කිහිපය ඡායාරූප කලාවට සුබදායක අවධියක් වේ. විවිධ මාතෘකා ඔස්සේ පසුගිය කාල පරාසයේ පැවති ඡායාරූප ප්‍රදර්ශන සහ ඉදිරියට පැවැත්වීමට නියමිත ප්‍රදර්ශන ගැන පොඩි පෝස්ට් එකකි මේ

අමිලගේ ප්‍රතිග්‍රහනය
මේ දකුණු ආසියාවේ පළමු වැනි ජංගම දුරකතන ඡායාරූප ප්‍රදර්ශනයයි. ඡායාරූපය ලබාගැනීම සංස්කරනය ඇතුළු සියළුම කටයුතු ජංගම දුරකතනය මගින්ම සිදුකර තිබිම මෙහි ඇති විශේෂත්වයයි. අමිල මේ සඳහා භාවිතාකර ඇත්තේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනයකි. ප්‍රදර්ශනය නැරඹීමේදී එම ඡායාරූප වල මූලාරම්භය ජංගම දුරකතනයක් බව කිසිවෙකුටත් නොසිතේ. ඡායාරූපයක තිව්‍රතාවය, ඡායාරූපයේ ප්‍රකාශනය, වර්ණ සමබරතාවය වැනි සියලුම කරුණු වලින් අංග සම්පූර්ණ ඡායාරූප අපට එහිදී දැකගත හැකිවිය.

හැමටම ජංගම දුරකතන ඇත. හැම දෙනාම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගනිති. සෙල්ෆි ගනිති. අමිලගේ ඡායාරූප ප්‍රදර්ශනය නැරඹු පසු ජංගම දුරකතනයෙන් ඡායාරූප ගැනීම නව මගකට යොමුකිරීම උදෙසා තරුණ පරම්පරාවට අදහසක් ජනිත කරවීමට හැකිවූ බව මගේ අදහසයි.

තේනුවරයන්ගේ සඳාත්මය
අමිලගේ ගුරුතුමා තේනුවර මහතායි. තේනුවර මහතා මෙයට කලින් මෙවැනිම එක මාතෘකාවක් ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශන පවත්වා තිබේ. පැනෝරාම, ආලෝක පින්තාරු එතුමාගේ ප්‍රදර්ශනයි. මෙවර එතුමාගේ මාතෘකාව සඳ එළියයි. සඳ එලියෙන් ආලෝකමත්වූ ලංකාවේ ස්ථාන බොහොමයක් මේ ප්‍රදර්ශනයේ දී අපට දැකගැනීමට හැකිවිය. ලක්ෂපාන දිය ඇල්ල, රැස්වෙහෙර, ආරුක්කු නවයේ පාලම. සීගිරිය, කොත්මලේ විහාරය වැනි ස්ථාන වල බොහෝ දුක් විඳගෙන ගත් ඡායාරූප බොහොමයක් එහි වුනා.

එකම ඡායාරූපය ගැනීමට හතරපස් වතාවක් එතුමා ලංකාව වටේම ඇවිද තිබුනා.

තේනුවරයන් හා හැමදාමත් ගහට පොත්ත ලෙස හිඳින ඔහුගේ ගෝල පරපුර ඔහුගේ මේ මහා ව්‍යායමයට නිරතුරුව උදව් කරනු ලැබුවා

හැමදාමත් අළුත් අදහසක් සහිතව ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන තේනුවර මහතාගේ මේ ප්‍රදර්ශනය පැවැත්වූ හෝර්ටන් පෙදෙසේ ජේ ඩී ඒ පෙරේරා කලාගාරය අඳුරේ ගිලී ඡායාරූපය පමනක් එලිය වන අයුරින් තනා තිබූ සැකැස්මද ප්‍රදර්ශනයට නව එලියක් එක් කලා.

ලාල් හෑගොඩයන්ගේ සොලසක් රූ
හෑගොඩයන් වසර ගනනාවකට පසු තමන්ගේ ප්‍රදර්ශනයක් පැවැත්වූයේ පසුගිය මාසයේයි. එතුමා අසනීපවූ පසු ඉතාම අසීරුවෙන් කැමරාවට නංවා ගත් ඡායාරූප දහසයක් මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වුනා. ඊටත් අමතරව එතුමා ප්‍රදර්ශනය සඳහා ලබාගත් තවත් ඡායාරූප කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුලත් වුනා.

ප්‍රදර්ශනය පැවැත්වුනේ ලයනල් වෙන්ටඩ් හී හැරල්ඩ් පීරිස් ශාලාවේ. උපතින්ම කවියෙකු වූ හැගොඩයානන්ගේ කවි සිතුවිලි මුසු ඡායාරූප බොහොමයක් පැමිනි පිරිසගේ සිතුවිලි සමග දොඩමළු වූවා.

ලාල් හැගොඩයන්ගේ ඡායාරූප විටෙක කවියක් වගෙයි. තවත් විටක ඉතා ගැඹුරු අදහස් සම්පින්ඩනය කරයි. දරුණු දේශපාලන කියවීම් වලින්ද යුක්ත වෙයි.

Monday, March 20, 2017

පොඩ්ඩී - මෙලෝ රහක් නැති කවි


මසක් වැඩ කොට ඇඬී
අතට ලැබුනා  සොච්චම පඩී
දැනුනා සිතට සතුටක් දැඩී
කට්ටිය ගියා ගැසුමට අඩී

බයිට් දා ගෙන පොඩී
දීසි එක දෙක වැඩී
දමා ටික ටික සැන්ඩී
ඉවර කෙරුවා දෙක තුන වඩී

දෙක තුන වෙද්දි වැඩී
සිහිවුනේ කෙළි පොඩ්ඩී
ගේනවා කිව් ඇපල් ගෙඩි
හොයන්නට ගියෙමි දඩි බිඩී

පාර අයිනේ තිබුණ පොඩී
කඩේකින් අරන් ඇපල් ගෙඩි
එල්ලුනා අන්තිම බස් එකේ ලඩි
බසිද්දි වැටුනා බිමට මගෙ කන්නඩි

කෑවා සේම කළු පැහැ කඩි
දිව්වා ගෙදර විගසින් කඩි මුඩි
පසුකර කුඹුර ගොයමද බන්ඩි
පැන්නා නියර පසුකර කන්ඩි

ගොසින් ගැසුවා දොරට දඩි බඩි
සද්ද නැතිවම ඇරුනා දොර පොඩි
දෑත් බැඳගෙන මුව ඔරවගෙන චන්ඩි
සිටියා සිඟිති චූටි දෝනිය පොඩ්ඩී

වෙනදා පැමිනෙන සද්දය ගොරහැඩි
නටන්නෙ නෑ ඇගෙ අම්මා කාවඩි
මොකක්ද දන්නෑ වෙනසක් හැඩි දැඩි
තියනවා බලන්න ඕනෑ යටි මඩි

අම්මේ අදත් මගෙ ඩැඩී
ඇවිත් බීලා හොඳටම වැඩී
ගසා බිම ඇගෙ කුඩා අඩි
කෑ ගසා ඇය හයියෙන් ඇඬී

අයියෝ සිදුවූ ලැජ්ජාව ඉතා දැඩී
එකවර පිපිරුවා මගෙ කන් අඩී
දැවුනා මගේ හදවත සමගම බන්ඩී
වුනා කවදාවත් නොවුනු නෝන්ඩි

අද මම බිව්වා දැනගෙන පොඩ්ඩී
උරණව ඇත අද මගෙ දූ චන්ඩී
පොරොන්දුගත්තා මගෙ පොඩි  ලේඩී

නොයන්න ආයෙත් බොන්නට පොඩි අඩී