Wednesday, March 11, 2015

හත් පෙති මල


කෝ පුතේ “බව්වා“

බව්වා නෙමෙයි බල්ලා

කියල නංගිගෙ

අවුරුදු එකහමාරක

පොඩි එකා කියනකොට

තිස් ගනන් වෙච්චි මං තාමත්

හත් පෙති මල

ගැන හිතන හැටි

Tuesday, February 3, 2015

කලා පොල 2015

ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් ආයතනයේ අනුග්‍රහයෙන් කළා පොල මෙවරත් 22වෙනි වතාවට පසුගිය 25 වෙනිදා නෙළුම් පොකුණ මාවතේ දී දවස පුරා පැවැත්වුනා.

විවිධ මට්ටමේ කලාකරුවන් 250කට අධික ප්‍රමාණයකගේ වෙළද කුටි මෙහිදී ප්‍රදර්ශනය වුනා.

මෙවරත් අධික ජන ගඟක් මෙම අවස්ථාව නැරඹීමට පැමිණ සිටියා.

මෙහිදි ලබාගත් ඡායාරූප පෙළක් පහත දැක්වේ.

ප්‍රදර්ශණ කුටිවල ආරම්භය


බ්‍රැඩ්ලි ජයතුංග මහතා ආලේඛ්‍ය චිත්‍රයක් අඳිමින්




නිසංසලා වික්‍රමරත්න ගේ “වලං ආර්ට්“




Friday, January 2, 2015

ඇතීනා - ඔබ මගේ දෙව්දුව


දිගැටි නාසයත්
දිගැසින් බලන බැල්මත්
මුදු මුවේ කැල්මත්
සුරතලෙන් තෙපලන වදනත්
සිහින් දිග ගවුමත්
විහිදලූ කෙස්සත්
නෙළුම වැනි මුහුනත්
හිමින් ලැසි ගමනත්
කරයි හදවත
පුරා මන්මත්
යුද්ධයට අධිපති
දැනුමට හිත ඇති
රූපයට හැඩ ඇති
ඔබයි මගෙ සඳවත
ඔබයි මගෙ සොයුරිය
ඔබයි මගෙ සොඳුරිය
ඔබයි මගෙ දෙව්දුව
ඇතීනා

Monday, October 20, 2014

මෝටර් ෂෝ


සීයක් දී ටිකට් ගෙන
සීයක පොරි පැකට් එකක් ගෙන
අසූවක මැගී කා
වියතක රෙදිකඩින්
විලිවසාගත් යුවතියන් දැක
ඔව්හු ගෙදර යති බස් රියෙන්

මෝටර් ෂෝ බලා අවසන් කර

පින්තූරය හොයාගත්තෙ මෙතනින් 

Monday, October 6, 2014

කිසාගෝතමී


කිසිවෙකු නොමළ ගෙයකින්
අබැටක් සෙවූ ඇය
තවමත් සොයයි
අප අතර සිට
වරදක් නොකල මිනිසෙක්

පළමු ගල ගැසීමට

Tuesday, September 9, 2014

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014

ශ්‍රී ලාංකිකයන්ට අමුතු අත්දැකීමක් ඇතිකල කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පසුගිය 7 වෙනිදා උත්සවශ්‍රීෙයන් අවසන් විය. අන්තර්ජාතිකව සම්මානයට පාත්‍රවූ සිනමා නිර්මාණ 102ක් මෙහි නොමිලයේ ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන් හයදෙනෙකුගේ තවමත් තිරගත නොවූ සම්මානනීය සිනමා කෘති 6ක්ද එයට අඩංගු විය. ඇත්තෙන්ම එකම රාමුවකට කොටුවී සිටි ලාංකික ප්‍රේක්ෂක ජනතාවට සිනමාවෙන් ජීවිතය දකින්නට හැකිවීම මහත්වූ හැකියාවකි.

ප්‍රේක්ෂකයාට ජනප්‍රිය සිනමාව සහ සම්භාව්‍යය සිනමාව අතර වෙනස පහදා දීමට මෙම උළෙල ප්‍රමාණවත්ය. සිනමාවේ පැවැත්මට ප්‍රේක්ෂකයා අවශ්‍යයය වුවත් පැවැත්ම උදෙසා ප්‍රේක්ෂකයාගේ මනසට විකාර ඇතුල් කරන්නේ නම් එම සිනමාවේ පැවැත්මෙන් වැඩක් නැත.

මෙහි පෙන්වූයේ චිත්‍රපටි පමණක් නොවේ. අන්තර්ජාතික මට්ටමේ සිනමා වැඩමුළු මෙන්ම සංගීත වැඩසටහන්ද මෙයට ඇතුලත් විය. බොහෝ චිත්‍රපට අවසානයේ එහි අධ්‍යක්ෂක සමග කතාබහක් කිරීමට ප්‍රේක්ෂක ජනතාවට හැකියාව ලැබුණි.

මෙවන් චිත්‍රපට උලෙලකදී අඩුපාඩු බොහෝ සිදුවෙයි. ඒවා පමණක් දැකීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. එම නිසා මෙහි හොද පැත්ත බොහෝදෙනෙකු නොදකියි.

ඇතැමුන්ට ආරාධනා පත් ලැබී නැත. එය ඕනෑම තැනක සිදුවෙයි. ඒවාට නහයෙන් අඬා වැඩක් නැත. සියල්ලන්ටම චිත්‍රපට පෙන්නුවේ නොමිලයේය. ඉඳින් ආරාධනා අවශ්‍යය නැත. ආරාධනා නොලැබ චිත්‍රපට බැලූ කලාකරුවෝ අපමණ සිටිති.

මෙවැනි උලෙලක සංවිධානය ඉතා බැරෑරුම් කාරයයකි. නමුත් එය සෑහෙන්න හොඳින් ඉටුවී තිබුනි. හිත් රිදවීම් නොවේ නම් එතැන කිසිවක් සිදුනොවේ. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, අනෝමා රාජකරුණා, විමුක්ති ජයසුන්දර වැනි මිනිසුන් රාශියකගේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිපල මිනිසුන් අත්විදී.

සිනමා උලෙල නිමවූයේ ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා කෘතියෙනි. උලෙලේ අවසන සනිටුහන් කල අශෝක හඳගමයන් පැවසූයේ ලබන වසරේත් මෙම සිනමා උලෙල පවත්වන බවයි. එය සිනමාවට කරන තවත්  යහපතක් වනු ඇත.

සිනමා උලෙලේ විශේෂ අවස්ථා රැගත් මවිසින් ගත් ඡායාරූප ඇල්බමයක් මෙම යොමුවේ අඩංගු වේ.

සිනමා උලෙල පිළිබඳ  සියළු විස්තර මෙම යොමුවෙන් ලබාගත හැක.

Monday, July 7, 2014

දික්කසාද සැමියා

පෙරලෙයි
ඒ මේ අත
සයනයේ
සොයයි
උණුසුම
තවමත්
ඇගේ