Tuesday, May 15, 2012

වේදිකා නාට්‍යය පෙරහැර

ආයෙත් ලංකාවෙ මිනිස්සු වේදිකා නාට්‍යය පැත්තට බරවෙලා. රසාස්වාදය ගැන හිතන්න පටන් අරන්. අළුත් පැරණි වේදිකා නාට්‍යය අළුත් ආරකින් දැන් පෙන්වනවා. මැයි මාසෙ පුරාම ලංකාවෙ හුගක් තැන්වල (විශේෂයෙන් කොළඹ අවට) නාට්‍යය දර්ශන තියනවා. පසුගිය සුමානේ ධනුෂ්කා නයන කුමාරිගෙ ජනේලයෙන් පනින්නද මරදාන ටවර් එකේ තිබ්බා. පහුවෙච්ච ඒවා දැන් වැඩක් නෑනෙ. ඉතින් ඉස්සරහට තියෙන ඒවා ටිකක් කියන්නම්. හුඟක් ඒවා නම් කොළඹ අවට තියෙන්නෙ. අනිත් පළාත් ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ. ඒකට මට සමාවෙන්න. නාට්‍යය රසවතුන් හැමටම ආරාධනා.

  • මැයි මාසෙ 15 (ඒ කියන්නෙ අද) ප්‍රියන්ත සිරිකුමාරගෙ බර්නාඩාගේ සපිරිගෙය සවස 7ට ලයනල් වෙන්ටඩ් ශාලාවෙ තියනවා. (ටිකට් 1000/-, 500/-, 300/-,200/- කියල තමයි ආරංචිය. පොඩ්ඩක් හොයල බලන්න)

  • මැයි මාසෙ 18 සිකුරාදා දොළහක් වේදිකා නාට්‍යය තියනවා හොරණ ශ්‍රීපාලී විද්‍යාලයිය ශාලාවෙ. මේ නාට්‍යයම 21 වෙනිදා පේරාදෙනිය සරසවියෙ තියෙනවා.

  • විජිත බණ්ඩාරගෙ වාදකයා වහලෙ උඩ වේදිකා නාට්‍යය තියනවා මැයි 19 සෙනසුරාදා ජෝන් ද සිල්වා රඟහලේ 3.30යි 6.30ටයි. (ජෝන් ද සිල්වා එක තියෙන්නෙ නෙළුම් පොකුණ රඟහල අයිනෙ. ඉස්සර නෙළුම් පොකුණ නැති කාලෙත් ජෝන් ද සිල්වා එක එතන තිබ්බා. නෙළුම් පොකුණ හදන කා‍ලෙ නෙළුම් පොකුණ තියෙන්නෙ කොහෙද කියල ඇහැව්වහම කිව්වෙ ජෝන් ද සිල්වා එක ගාව කියල. දැන් ඉතින් ඔක්කොම කණපිට)

  • මැයි මාසෙ 25 වෙනිදා හවස 3.30ටත් 7.00ටත් හෙන්රි ජයසේනයන්ගෙ හුණුවටයේ කතාව තියනවා ලයනල් වෙන්ටඩ් ශාලාවේ.

  • සෝමලතා සුබසිංහ මහත්මි‍යගෙ විකෘති නාට්‍යය මැයි මාසෙ 26 වෙනිදා (සෙනසුරාදා) හවස 3.30ට සහ 7.00ට තියෙනවා ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ. 

  • උදයසිරි වික්‍රමරත්නගෙ සුද්දෙක් ඔබ අමතයි 27 හවස 3.30ටත් 6.30ටත් තියනවා ලයනල් වෙන්ට් රඟහලේ.

  • එදිනම ගයාන් රන්දීරගෙ ජෝන්ගේ සත්තුවත්ත තියනවා ලුම්බිණි රඟහලේ හවස 3.30ට‍ත් 6.30ටත්.

  • ලබන මාසෙ 07-08-09 රාජිත දිසානායකගෙ නාට්‍යය තුනක් වේදිකා ගතවෙනවා ලයනල් වෙන්ට් රඟහලේ. ඒ නාට්‍යය තුන වෙන්නෙ වීරයා මැරිලා, සිහින හොරු අරන් සහ බකමූණා වීදි බසී.


තවත් නාට්‍යය ගොඩක් තියනවා. මට හදිස්සියට හොයා ගන්න පුළුවන් වුනේ මේ ටික විතරයි. හොයා ගත්ත ගමන් පොඩ්ඩක් දැනුවත් කරන්නම්.


Thursday, April 26, 2012

පුත මේ මිහිතලයම ඔබේය



මේ පුංචි  පැදි පේලි ටික මට හම්බවුනේ අපේ පුංචිගෙ පොතක් අස්සෙ තිබිලා. රෝස පාට පුංචි කොලේක ලියපු පැදි පෙලක්. ඒ මීට අවුරුදු 15-18 කට විතර කලින්. එක හුස්මට කියවල දැම්ම ඒ පද පේලි ටික මගේ හිතට අමුතු වෙනසක් කලා. පසු කාලීනව හොයාගත්තා ඒ පැදි පෙළ ලියපු අයිතිකාරයා බ්‍රිතාන්‍ය ජාතින රඩ්යාඩ් කිප්ලිං කියල. ඔහුගෙ ඉතාම ජනාදරයට පාත්‍රවූ ඉ‍ෆ් (If) නැමති පැදිපෙලේ පරිවර්තනයක් තමයි මම ඉස්සෙල්ල දැකල තිබ්බෙ. මම ඉස්සර මේක මගෙ බ්ලොග් එකක දාල ඒක කියවපු හුඟ දෙනෙක් මගෙ යාළුවො වුනා. ඒ වගේම මගේ ජීවිතේ මට කිට්ටුවෙන් හිටපු හුඟදෙනෙක් මේ පැදිපෙළට ඉමහත් ආදරයක් දැක්වුවා. මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමත් වෙච්ච උදාර වචන ගොන්නක් එහි අඩංගු වුනා. පස්සෙ පොඩියට මුද්‍රණය කරගෙන පසුම්බියෙ දාගෙන ඉන්න තරම් මම ඒකට වශීවුනා. අදටත් හිතට අමුත්තක් දැනෙන හැම වෙලාවකම මම මේ පැදි පෙළ කියවනවා.

මුළු ලෝකයාම ඔබට දොස් නගද්දිත්

එයින් කම්පා නොවී සිටීමට ඔබට හැකි නම්
ලෝකයා ඔබ කෙරෙහි තරහක් දක්වද්දී
ඔබ තරහක් නොදක්වන්නේ නම්
මුළු ලෝකයාම ඔබව සැක කලත්
ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇත්නම්
අන්‍යයන් ඔබව බොරුවෙන් රවටද්දී
ඔබ බොරු නොකියයි නම්
ඔබේ හොඳ ගතිගුණ ඔබ නොකියයි නම්
ඔබට කොතෙකුත් දෑ සිතිය හැකි වුවත්
ඔබ මහා චින්තකයකු යයි නොසිතන්නේ නම්
ඔබේ සිතුවිලි ඔබේ ඉලක්කය යයි ඔබ නොසිතන්නේ නම්
ජය පරාජය දෙකම සමව සැළකීමට ඔබට හැකි නම්
ඉවසීම ඔබගේ පුරුද්දක් නම්
ඔබ ලැබූ සියළු ජය එක් රැස් කර තැබිය හැකි නම්
එහෙත් ඒ සියල්ල වැනසී ගියත්
ඔබ සුසුම් මාත්‍රයක් පවා නොහෙලයි නම්
නැතිව ගිය සියළු ජයග්‍රහණයන්
නැවත ලබාගැනීමට ඔබ උත්සාහ වන්ත නම්
ඔබේ පිරිහීම හෝ පරාජය ගැන
වචනයක් හෝ කතා නොකර සිටීමට ඔබට හැකි නම්
රජවරුන් සමග ඇසුරු කලත්
පොදු ජනතාව සමග ඇති සම්බන්ධතා
සිඳ බිඳ නොදාන්නේ නම්
ඔබේ ලඟම හතුරාගේත් ආදරණිය මිත්‍රයාගේත්
සිත නොරිදවන්නේ නම්
ඔබට ලෝකයාම සමාව නොදෙන එක මොහොතක
ඒ මොහොතේදී සියළු කරදර බාධක හිරිහැර
අමතක කොට සිටීමට ඔබට හැකිනම්
පුත මේ මිහිතලයම ඔබේය
ඔබ මේ මිහිතලයට අයත් පුද්ගලයෙකි
පුත ඔබ නියම මිනිසෙකි!

රඩ්යාඩ් කි‍ෆ්ලිං ගැන දැනගන්න මේ සබැඳියට යන්න
ඔහුගේ සියළු කවි නිර්මාණ රසවිඳීමට මේ සබැඳියට යන්න

Monday, April 23, 2012

තිස් වසරකට පසු වේදිකා ගතවූ විකෘති

සෝමලතා සුබසිංහ

සිංහල වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහනක් තැබූ අමරණීය චරිතයක්.

විකෘති

ඇගේ අතින් බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක්.

පසුගිය නම වනදා (අප්‍රේල් 09)දා ඇගේ හිතවතුන් පිරිසක් එදින හවස විවේකීව තබාගන්නැයි කියූ ඉල්ලීමට ඇය සවන් දී එදින සවස ජෝන් ද සිල්වා සමරු රඟහලට ඇගේ සැමියා සමග පැමිනෙද්දී ඇය කිසිවිටක අපේක්ෂා නොකල ආකාරයේ  උත්සවයක් සංවිධානය කර තිබුනා.

මීට තිස් වසරකට පෙර වේදිකා ගතවූ ඒ අසහාය වේදිකා නාට්‍යය එකල වේදිකාවේ සිටි නළු නිලියන් බොහොමයකගේ දායකත්වයෙන් සෝමලතා සුබසිංහ මැතිනියට උපහාරයක් වශයෙන් වේදිකා ගතවූවා.

ඉතාමත් කෙටිකාලයකින් පුහුණුවීම් සිදුකර තම අතීත දක්ෂතා මැනවින් නැවත ප්‍රදර්ශණය කිරීමට ඔවුන්ට හැකිවුනා. මෙම දර්ශණය නොමිලේ දර්ශණය කරන ලද්දක්.

චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, ලලනි පුෂ්පමාලා, මල්කාන්ති ජයසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, සංජීව දිසානායාක, ලාල් සිල්වා, අනුර වීරතුංග, භද්‍රා නන්දනී, නයනා හෙට්ටිආරච්චි, හේමක ඩයස්, වික්‍රම සෙනවිරත්න වැනි වේදිකාවේ පරිනත ශිල්පීන් මේ සදහා තම දායකත්වය ලබාදුන්නා.

නාට්‍යය අවසානයේදි සෝමලතා සුබසිංහ මැතිනියට උපහාර පිදීමක්ද සිදුවූවා. මෙහිදී ඇය ලගන්නා සුළු කතාවක් පැවැත්වූවා.

මෙම නාට්‍යයේ පුහුණුවීම් වල සහ නාට්‍යයේ අවස්ථා රැගත් ඡායාරූප පෙළක් මේ සමගින් ඇත.























Tuesday, March 27, 2012

මේඛලා.. මම ඔබේ හඬ විඳිමි

ඇයට මේ ලොව නොපෙනේ. අද වන විට ඇය ජනප්‍රිය වී හමාරය. මේ පෝස්ටුව වෙන් වන්නේ ඇය ගැන ලිවීමටයි.


මම ඇයගේ හඬ ගැන දැනගත්තේ බ්ලොග් හෙළයාගේ මියුසික් විතරමයි හි පෝස්ට් එකකිනි. 



පසුව ඇය කවුදැයි රට පුරා සෙව්වෙමි. නමුත් ඇය ගැන හරි තොරතුරක් නොලැබුනි. දිගින් දිගටම ඇයගේ ගීය රස වින්දෙමි. දෙතුන් මසක ඇවෑමෙන් ඇය ගැන පුංචි හෝඩුවාවක් දැනගැනීමට හැකිවිනි. ඒ ‍මේ ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බවත් සංගීත ප්‍රසංගය අතරමැදදී ඇය සින්දුව නවත්වා මුළු ශාලාවේම ආලෝකය විසන්ධි කර

“ මෙච්චර වෙලා සින්දුව ඇහැව්වෙ ඔයාල අහන විදිහටනෙ. දැන් මගේ විදිහට සින්දුව අහමු”
කියා ඉතිරිය ගායනා කරන බවත්ය.

එදා සිට මම එම වීඩියෝව සෙව්වෙමි. සෑහෙන්න මහන්සි වූ පසු එහි ඕඩියෝ ක්ලිප් එකක් ලැබුනි. එදා සිට මේ ගීතය වින්දේ වෙනස් ආකාරයකටයි. අද වෙන විට ඇය ජනප්‍රිය ගායිකාවක් වී හමාරය. ඇය ගැන මුළු ලංකාවම දනී. එම නිසා මා ඇගේ නිර්මාන කිහිපයක් ගැන කතා කරමි.

ඇයට මේ ප්‍රසිද්ධිය ලබාදුන් ගීතය අහන් ඉන්නයි. එහි පද රචනයේ ඇති සුවිශේෂ තාවය ඇගේ දුබලතාවය වන දෑස් නොපෙනීම ගැන හැඟීම තීව්ර කරවයි. සෝමලතා හේරත් මැණිකේ එවැනි පුද්ගලයින් සමග ගෙවූ දිවියෙන් ලැබූ පන්නරය මෙහිදි ගීතයට ආලෝකයක් ලබා දෙයි. මෙහි මා දකින සුවිශේෂතාවය වන්නේ සංගීතයයි. සංගීත භාන්ඩ දෙක තුනක් පමණක් භාවිතා කර ගීතයේ ඔප් නැංවිය යුතු මේඛලාගේ සොඳුරු හඬ මෙහිදී ඉතාම හොදින් ගොඩනගා තිබේ. රුවන් ශ්‍රී වල්පොල, ඔබගේ මේ නිර්මාණඛය ශ්‍රේෂ්ට නිර්මානයක් වන්නේ ඉහත කී හේතු කාරනාව නිසාමය.




ඇය තවත් එවැනිම ගීයක් ගායනා කළාය. ඒ අම්මා ගැන කියවෙන මට දෙන්න මට දෙන්න ගීතයයි. මෙම ගීතයෙත් අයිතිකරුවන් වන්නේ සෝමලතා හේරත් මැණිකේ සහ රුවන් ශ්‍රී වල්පොලයි. සංගීත භාන්ඩ දෙක තුනකින් මහා නිර්මාණයක් බිහිකල හැකි බව රුවන් නැවතත් සනාථ කර පෙන්වූ අවස්ථාවකි මේ.


එකම විහිළුව නැවත නැවත සිදුකල විට හිනා නොයයි. ඒ සාමාන්‍යය මතයයි. එලෙසම ගීතයක් එකමාකාරයෙන් එකම තනුවකට බිහිවන විට එයද මිනිසුන්ට එපා වෙයි. නමුත් මා දැන් යන්නේ එය එසේ නොවේ යන්න සනාථ කිරිමටයි. අම්මා... මේ ගීතයද මේඛලාගේ විශිෂ්ට ගායනා අතරට එක්වේ. ආදරණීය අම්මා.. මේ ඔබ වෙනුවෙන් අප හදවත් තුල පිරුණ ආදරයේ ගීතයයි.සියක් දහසක් දරුවන්ට අම්මලාගේ ආදරය දැනෙන්ට ගායනා කරන ගීතයයි. සෝමලතා හේරත් මැණිකේ නැමති ජීවක දියනිය නැවතත් තම පන්හිඳින් විශිෂ්ට පද රචනයක් බිහිකර අවසානය.

රුවන් ශ්‍රී තත් භාන්ඩ දෙක තුනකින් තවත් විශිෂට කෘතියක් නිමවා ඇත. එකම ආකාරයේ ගීතයක් වුවත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්ය. භාෂාව සහ සංගීතය හැසිරවීම මගින් නිර්මාණයට විශිෂ්ට නිමාවක් දී ඇත.
මේඛලා ගයන තවත් ගීතයක් මේ දවස් වල ජනප්‍රිය වෙමින් තිබේ. ඒ සුසුමක උණුසුමයි. මෙහි සංගීතය නවරත්න ගමගේ විසින්. පද රචනය සුගතදාස හීන්දෙනිය. හැබැයි මේක වෙනස් ආරක ගීයක්. විඳලම බලන්න.
ඇය ගයන තවත් ගීත කිහිපයක් තියනවා. ඒවත් පොඩ්ඩක් අහල බලන්න
නුඔ නොදුටු ඉසව්
මේ සින්දු දෙකම නවරත්න ගමගේ සමග සෝමලතා හේරත් මැණිකේ ගේ සුසංයෝගයක්.

මන්සිනා මල් පොකුරක්





Tuesday, February 14, 2012

ඇන්ටි වැලන්ටයින්

කන්න ඕන වුනහම
කබරගොයාත් තලගොයා වෙච්චි කොට
විකුනන්න ඕනෙ අම්ම නම්
අපි කරන්නෙ මදර්ස් ඩේ
තාත්තා වික්කොත්
ෆාදර්ස් ඩේලු
ගුරුවරු වික්කොත් 
ටීචර්ස් ඩේ
මෙච්චර උතුම් දේවල් විකුනන්න ඇහැක් නම්
වැලන්ටයින් ඩේ කියල
ආදරේ වික්කහම මොකෝ වෙන්නෙ
අනේ බොලාගෙ මාකටින්

Saturday, January 14, 2012

සුළඟ නුඹයි

කිව්වත් වගේ
ඔව් ඔබ සුළඟ වගේ තමයි
මම ගහක් වගෙයි
ඔබේ ඔය මදනල විඳින්න 
මම හරි ආසයි
එතකො‍ට මගේ අතුකොළත්
හෙමින් සෙළවෙනවා
ඒත් ඔබ වැඩිපුර ගේන්නෙ
චන්ඩ කුණාටු
ඒවට මාවත් ඇඹරිලා
මගෙ අතු රිකිලිත් 
විනාස වෙනවා
හිටිගමන් ඔබ
ඉමිහිරි මල් සුවඳක් ගේනවා
ඒ ගේන මල් සුවඳ
කාලෙකට මතක තියනවා
හැබැයි
කොහෙදෝ ඈත කුණුවළකින් ගේන
කුණු ගඳත් ගේන්නෙ ඔබමයි
ඒ ගඳ අර මල් සුවඳ
පරයා එනවා
මම ගහක් වුනත්
සුළඟ,
ඔබ මාව රිසි විදිහට 
පාලනය කරනවා
ඔබට සුළඟ වගේ යන්න පුළුවන් වුනත්
මම ගහක්
මට ඔබට වගේ යන්න විදිහක් නෑ
ඇත්තටම ඔබ 
සුළඟ වගේ තමයි

Wednesday, January 11, 2012

Cat වෝක්


හොර බැලලි
කැට් වෝක් එකෙන්
ගෙට රිංගලා
මාළු ඇතිලියම කනකං
මම ටී වි එක ඉස්සරහ
ෆැෂන් ෂෝ බල බල
හිටපු අපූරුව