Tuesday, September 25, 2012

මැගී කුටියේ යුවතිය

මන්දාරම් අඳුරේ
පොත් ප්‍රදර්ශනයේ
සිහින් වරුසාවේ
දිවවුත් නැවතුනේ ඈ
මැගී කුටිය ලඟ
මද කුසගිනි 
නිවනු රිසියෙන්
අදිමින් මුදල් පසුම්බිය
ඉල්ලයි ඈ 
කෝප්පයක් පුරවා මැගී
රස නහර පිනායන
පිසලයි ඈ
සේද සාරි පොටින්
තෙමුනු ඇගේ වත
සිහින් වරුසාවට
මැගී කෝප්පය ගෙන
මද සිනා පා මට
දිවයයි ඈ සෙවනක් සොයා
අවසන් වූ පසු මැගී බඳුන
ඉසිලීය ඇගෙ පඬුවන් 
ජනශක්ති කුඩය
නැවතත් හරි හරියට
පිය නගන්නී ඈ
තවත් පොත් කුටියක් වෙත
මගේ මැගී බඳුනද
දැන් අවසන් වී ඇත
කුඩයක් රහිතව මම
තෙමෙමින්ම ඒ වැස්සේ
ගියෙමි වෙනත් කුටියක් කරා
තවත් පොත් ගැනුමට

Friday, August 17, 2012

වල් සමනළයා

බස් එකේ යනකොට
ඉස්සරහ සීට් එකේ 
ඔයා වාඩිවෙච්ච වෙලාවෙ
ඇඳල හිටපු ස්කිනියයි
තිසර පටයි අතරින්
මතුවෙලා හිනාවෙච්ච
වල් සමනළයා
මම බස් එකෙන් බහිනකං
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි
සීට් එක අස්සෙන්
එබිකන් කර කර හිටපු අපූරුව

Friday, July 13, 2012

සාශා


සාශා
මට ඉස්සෙල්ලාම ඔබ හමුවුනු දිනය
තවමත් මතකයි
ඒ ගෝර්කිගෙ අම්මා පොතෙන්
එදා වගේම
ඒ සාශාට
මම හරි ආදරෙයි
ඔබත් මට ආදරේ බව
මම දන්නවා
හැබැයි ඒ
හුණුවටයේ ගෲෂා
මයිකල්ට කුමාරයාට
තිබ්බා වගේ
නෙමෙයි කියල මම හිතනවා
ඒ ගෲෂා
ඔබ සාශා
පුංචි තිත් දෙකක් ඇති ‍ඔබේ මුහුණ
මට මැවිලා පේනවා
වොඩ්කා බිංදුවක් වගේ ඔබ
හරිම කුල්මත්
බැලලයිකාවෙන් වැයෙන ස්වරයක්
වගේ ඔබ ගීතවත්
ඔබත් එක්ක තනියම
කතා කරමින්
ඔබේ සුදු අතගෙන
පොප්ලර් ගස් වැවුනු
මිටියාවතේ
ඇවිදින්න ආසයි
ඉතින් ඔබ මගේ ලඟ නෑ
ඒත් ඔබ හැමදාම මගේ හිතේ
ලැගුම්ගෙන ඉඳියි
ඉඳින් මම හැමදාම
ඔබ‍ට සාශා යයි අමතමි
මට කල හැක්කේ එපමණයි

Monday, July 9, 2012

හුගක් දෙනා අහල තියන වචන ටිකක්

ඔයාට
මං
නැතුව
ඉන්න
පුළුවන්ද?

ඔව්
මට පුළුවන්!.

එහෙමද?
මං හිතුවෙ
මට වගේ
ඔයාටත්
මං නැතුව
ඉන්න බැරුව
ඇති කියල
හම්!..

Monday, June 18, 2012

ඔත්පලයාගේ කවිය


දුවලත් ඉවරයි
පැනලත් ඉවරයි
දන්නෙ නෑ කවද්ද
ආයෙත් නටන්නෙ
කට්ටිය එක්ක
ඉස්සර මම කරපු දේවල්
දැන් අය කරන හැටි බලන්
රෝද පුටුවට වෙලා
හිඳිමි ජනෙල් කවුළුව ළඟින්
කවදහරි ආයෙමත්
නැගිටලා පෙර සේම
එකතුවී සැම සමග
එන්නෙමි නටන්නට
ඒත් ......
කවුරුවත් දන්නවද
වෙන්වුනු කකුලක්
ලියලා වැඩුනු වග

Tuesday, May 15, 2012

වේදිකා නාට්‍යය පෙරහැර

ආයෙත් ලංකාවෙ මිනිස්සු වේදිකා නාට්‍යය පැත්තට බරවෙලා. රසාස්වාදය ගැන හිතන්න පටන් අරන්. අළුත් පැරණි වේදිකා නාට්‍යය අළුත් ආරකින් දැන් පෙන්වනවා. මැයි මාසෙ පුරාම ලංකාවෙ හුගක් තැන්වල (විශේෂයෙන් කොළඹ අවට) නාට්‍යය දර්ශන තියනවා. පසුගිය සුමානේ ධනුෂ්කා නයන කුමාරිගෙ ජනේලයෙන් පනින්නද මරදාන ටවර් එකේ තිබ්බා. පහුවෙච්ච ඒවා දැන් වැඩක් නෑනෙ. ඉතින් ඉස්සරහට තියෙන ඒවා ටිකක් කියන්නම්. හුඟක් ඒවා නම් කොළඹ අවට තියෙන්නෙ. අනිත් පළාත් ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ. ඒකට මට සමාවෙන්න. නාට්‍යය රසවතුන් හැමටම ආරාධනා.

  • මැයි මාසෙ 15 (ඒ කියන්නෙ අද) ප්‍රියන්ත සිරිකුමාරගෙ බර්නාඩාගේ සපිරිගෙය සවස 7ට ලයනල් වෙන්ටඩ් ශාලාවෙ තියනවා. (ටිකට් 1000/-, 500/-, 300/-,200/- කියල තමයි ආරංචිය. පොඩ්ඩක් හොයල බලන්න)

  • මැයි මාසෙ 18 සිකුරාදා දොළහක් වේදිකා නාට්‍යය තියනවා හොරණ ශ්‍රීපාලී විද්‍යාලයිය ශාලාවෙ. මේ නාට්‍යයම 21 වෙනිදා පේරාදෙනිය සරසවියෙ තියෙනවා.

  • විජිත බණ්ඩාරගෙ වාදකයා වහලෙ උඩ වේදිකා නාට්‍යය තියනවා මැයි 19 සෙනසුරාදා ජෝන් ද සිල්වා රඟහලේ 3.30යි 6.30ටයි. (ජෝන් ද සිල්වා එක තියෙන්නෙ නෙළුම් පොකුණ රඟහල අයිනෙ. ඉස්සර නෙළුම් පොකුණ නැති කාලෙත් ජෝන් ද සිල්වා එක එතන තිබ්බා. නෙළුම් පොකුණ හදන කා‍ලෙ නෙළුම් පොකුණ තියෙන්නෙ කොහෙද කියල ඇහැව්වහම කිව්වෙ ජෝන් ද සිල්වා එක ගාව කියල. දැන් ඉතින් ඔක්කොම කණපිට)

  • මැයි මාසෙ 25 වෙනිදා හවස 3.30ටත් 7.00ටත් හෙන්රි ජයසේනයන්ගෙ හුණුවටයේ කතාව තියනවා ලයනල් වෙන්ටඩ් ශාලාවේ.

  • සෝමලතා සුබසිංහ මහත්මි‍යගෙ විකෘති නාට්‍යය මැයි මාසෙ 26 වෙනිදා (සෙනසුරාදා) හවස 3.30ට සහ 7.00ට තියෙනවා ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ. 

  • උදයසිරි වික්‍රමරත්නගෙ සුද්දෙක් ඔබ අමතයි 27 හවස 3.30ටත් 6.30ටත් තියනවා ලයනල් වෙන්ට් රඟහලේ.

  • එදිනම ගයාන් රන්දීරගෙ ජෝන්ගේ සත්තුවත්ත තියනවා ලුම්බිණි රඟහලේ හවස 3.30ට‍ත් 6.30ටත්.

  • ලබන මාසෙ 07-08-09 රාජිත දිසානායකගෙ නාට්‍යය තුනක් වේදිකා ගතවෙනවා ලයනල් වෙන්ට් රඟහලේ. ඒ නාට්‍යය තුන වෙන්නෙ වීරයා මැරිලා, සිහින හොරු අරන් සහ බකමූණා වීදි බසී.


තවත් නාට්‍යය ගොඩක් තියනවා. මට හදිස්සියට හොයා ගන්න පුළුවන් වුනේ මේ ටික විතරයි. හොයා ගත්ත ගමන් පොඩ්ඩක් දැනුවත් කරන්නම්.


Thursday, April 26, 2012

පුත මේ මිහිතලයම ඔබේය



මේ පුංචි  පැදි පේලි ටික මට හම්බවුනේ අපේ පුංචිගෙ පොතක් අස්සෙ තිබිලා. රෝස පාට පුංචි කොලේක ලියපු පැදි පෙලක්. ඒ මීට අවුරුදු 15-18 කට විතර කලින්. එක හුස්මට කියවල දැම්ම ඒ පද පේලි ටික මගේ හිතට අමුතු වෙනසක් කලා. පසු කාලීනව හොයාගත්තා ඒ පැදි පෙළ ලියපු අයිතිකාරයා බ්‍රිතාන්‍ය ජාතින රඩ්යාඩ් කිප්ලිං කියල. ඔහුගෙ ඉතාම ජනාදරයට පාත්‍රවූ ඉ‍ෆ් (If) නැමති පැදිපෙලේ පරිවර්තනයක් තමයි මම ඉස්සෙල්ල දැකල තිබ්බෙ. මම ඉස්සර මේක මගෙ බ්ලොග් එකක දාල ඒක කියවපු හුඟ දෙනෙක් මගෙ යාළුවො වුනා. ඒ වගේම මගේ ජීවිතේ මට කිට්ටුවෙන් හිටපු හුඟදෙනෙක් මේ පැදිපෙළට ඉමහත් ආදරයක් දැක්වුවා. මගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න සමත් වෙච්ච උදාර වචන ගොන්නක් එහි අඩංගු වුනා. පස්සෙ පොඩියට මුද්‍රණය කරගෙන පසුම්බියෙ දාගෙන ඉන්න තරම් මම ඒකට වශීවුනා. අදටත් හිතට අමුත්තක් දැනෙන හැම වෙලාවකම මම මේ පැදි පෙළ කියවනවා.

මුළු ලෝකයාම ඔබට දොස් නගද්දිත්

එයින් කම්පා නොවී සිටීමට ඔබට හැකි නම්
ලෝකයා ඔබ කෙරෙහි තරහක් දක්වද්දී
ඔබ තරහක් නොදක්වන්නේ නම්
මුළු ලෝකයාම ඔබව සැක කලත්
ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇත්නම්
අන්‍යයන් ඔබව බොරුවෙන් රවටද්දී
ඔබ බොරු නොකියයි නම්
ඔබේ හොඳ ගතිගුණ ඔබ නොකියයි නම්
ඔබට කොතෙකුත් දෑ සිතිය හැකි වුවත්
ඔබ මහා චින්තකයකු යයි නොසිතන්නේ නම්
ඔබේ සිතුවිලි ඔබේ ඉලක්කය යයි ඔබ නොසිතන්නේ නම්
ජය පරාජය දෙකම සමව සැළකීමට ඔබට හැකි නම්
ඉවසීම ඔබගේ පුරුද්දක් නම්
ඔබ ලැබූ සියළු ජය එක් රැස් කර තැබිය හැකි නම්
එහෙත් ඒ සියල්ල වැනසී ගියත්
ඔබ සුසුම් මාත්‍රයක් පවා නොහෙලයි නම්
නැතිව ගිය සියළු ජයග්‍රහණයන්
නැවත ලබාගැනීමට ඔබ උත්සාහ වන්ත නම්
ඔබේ පිරිහීම හෝ පරාජය ගැන
වචනයක් හෝ කතා නොකර සිටීමට ඔබට හැකි නම්
රජවරුන් සමග ඇසුරු කලත්
පොදු ජනතාව සමග ඇති සම්බන්ධතා
සිඳ බිඳ නොදාන්නේ නම්
ඔබේ ලඟම හතුරාගේත් ආදරණිය මිත්‍රයාගේත්
සිත නොරිදවන්නේ නම්
ඔබට ලෝකයාම සමාව නොදෙන එක මොහොතක
ඒ මොහොතේදී සියළු කරදර බාධක හිරිහැර
අමතක කොට සිටීමට ඔබට හැකිනම්
පුත මේ මිහිතලයම ඔබේය
ඔබ මේ මිහිතලයට අයත් පුද්ගලයෙකි
පුත ඔබ නියම මිනිසෙකි!

රඩ්යාඩ් කි‍ෆ්ලිං ගැන දැනගන්න මේ සබැඳියට යන්න
ඔහුගේ සියළු කවි නිර්මාණ රසවිඳීමට මේ සබැඳියට යන්න