Monday, March 20, 2017

පොඩ්ඩී - මෙලෝ රහක් නැති කවි


මසක් වැඩ කොට ඇඬී
අතට ලැබුනා  සොච්චම පඩී
දැනුනා සිතට සතුටක් දැඩී
කට්ටිය ගියා ගැසුමට අඩී

බයිට් දා ගෙන පොඩී
දීසි එක දෙක වැඩී
දමා ටික ටික සැන්ඩී
ඉවර කෙරුවා දෙක තුන වඩී

දෙක තුන වෙද්දි වැඩී
සිහිවුනේ කෙළි පොඩ්ඩී
ගේනවා කිව් ඇපල් ගෙඩි
හොයන්නට ගියෙමි දඩි බිඩී

පාර අයිනේ තිබුණ පොඩී
කඩේකින් අරන් ඇපල් ගෙඩි
එල්ලුනා අන්තිම බස් එකේ ලඩි
බසිද්දි වැටුනා බිමට මගෙ කන්නඩි

කෑවා සේම කළු පැහැ කඩි
දිව්වා ගෙදර විගසින් කඩි මුඩි
පසුකර කුඹුර ගොයමද බන්ඩි
පැන්නා නියර පසුකර කන්ඩි

ගොසින් ගැසුවා දොරට දඩි බඩි
සද්ද නැතිවම ඇරුනා දොර පොඩි
දෑත් බැඳගෙන මුව ඔරවගෙන චන්ඩි
සිටියා සිඟිති චූටි දෝනිය පොඩ්ඩී

වෙනදා පැමිනෙන සද්දය ගොරහැඩි
නටන්නෙ නෑ ඇගෙ අම්මා කාවඩි
මොකක්ද දන්නෑ වෙනසක් හැඩි දැඩි
තියනවා බලන්න ඕනෑ යටි මඩි

අම්මේ අදත් මගෙ ඩැඩී
ඇවිත් බීලා හොඳටම වැඩී
ගසා බිම ඇගෙ කුඩා අඩි
කෑ ගසා ඇය හයියෙන් ඇඬී

අයියෝ සිදුවූ ලැජ්ජාව ඉතා දැඩී
එකවර පිපිරුවා මගෙ කන් අඩී
දැවුනා මගේ හදවත සමගම බන්ඩී
වුනා කවදාවත් නොවුනු නෝන්ඩි

අද මම බිව්වා දැනගෙන පොඩ්ඩී
උරණව ඇත අද මගෙ දූ චන්ඩී
පොරොන්දුගත්තා මගෙ පොඩි  ලේඩී

නොයන්න ආයෙත් බොන්නට පොඩි අඩී

Wednesday, August 10, 2016

සරුංගලේ



අගෝස්තු නිවාඩුවත් ඇවිත්. සරුංගල් යවන කාලෙ. වෙල් ඉපනැලිවල, මුහුදු වෙරලෙ ලමයි සරුංගල් යවනවා. සරුංගලේ කියන්නෙ වයස් භේදයක් නැතුව විනෝද වෙන්න පුළුවන් සෙල්ලම් බඩුවක්. ඒත් සරුංගලයකින් සතුට විතරක්ම නෙමෙයි.

මේ සරුංගල් මතක් වෙනකොට මට මතක් වෙනවා සරුංගල් ගැන ලියවිච්ච සින්දු. ජනප්‍රිය සින්දු දෙකක්ම තියනවා. හැබැයි මේ දෙකෙන්ම කියන්නෙ සරුංගලයක් ගැන නෙමෙයි. සරුංගලේ උපමාවක් කරගෙන වෙනස් අදහස් දෙකක්.

පළවෙනි සින්දුව කියන්නෙ විශාරද නන්දා මාලනිය. ගීතය ලිව්වෙ සුනිල් ආරියරත්න මහත්තය. සංගීතවත් කලේ රෝහණ වීරසිංහයන්. අපි සින්දුවෙ පද බලල ඉම්මු.

සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේඅපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේඋපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයිසරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයිසරුංගලේ කොළ අලවා හැඩ කෙරුවේ අපේ ළමයිසරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තාම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයිසරුංගලේ නූල් යොදා උඩ ඇරියෙත් අපේ ළමයිසරුංගලේ උඩ ගිය දා මතක නැතේ අපේ ළමයිසරුංගලේ නුඹ වාගෙයි රට හැර යන අපේ ළමයි


නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරටට පදිංචියට යන පිරිසක් ගැන සරුංගලයක් උපමාවෙන් කියන එක කොච්චර ලස්සනද?

දෙවනි සින්දුව කියන්නෙ මැණික් ජයසේකර මහත්මිය.  නම පොඩ්ඩක් අහල නෑ වගේ වුනාට එතුමිය කියන තව ජනප්‍රිය සින්දු තව එමටයි. සල් සමන් සුගන්ධිනී, ස්නේහයේ නගරයයි විතරක් නෙමෙයි බිඟු රෑන වගේ මල් යායට ගීතයත් එතුමියගෙ. එතුමිය ගයන සරුංගලේ මා කියන සින්දුව ලියල තියෙන්නෙ හේමසිරි ගුණතුංග මහත්තයා. සංගීතවත් කරල තියෙන්නෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසන්.

සරුංගලේ මා සරුංගලේපියඹා යනවා දෙරණ මතින්මායිම් නැති නිල් ආකාසේමායිම් ඇති මේ නියර මතේකුමර කුමරියන් අතින් මිදීසරුංගලේ මා සරුංගලේ
කුරිරු පොළෝ මත වැටකොටු බැඳ ඇතනිදහස වටකොට පවුරු නැගී ඇතඑබැවින් පියඹා යන්නෙම් ගගනතසරුංගලේ මා සරුංගලේ
දෑ කුලගොත් මායිම් කිසිවක් නැතිනිදහස් නිවහල් සුවිසල් ගගනතඈතට ඉගිලෙමි සිතු ලෙසසරුංගලේ මා සරුංගලේ



අප වාසය කරන ලෝකය කෙතරම් කුරිරුද, වේදනාකාරීද? වැටකොටු බැම්කුළ මල ආදී දේවල් නිදහස් මනසකට කෙතරම් අකුල් හෙලනවාද? මේ ගීතය එවැනි දේවල් වලින් මිදෙන්න සරුංගලයක් ආදේශ කරගෙන කියන අපූරුව.

තව සීටී ප්‍රනාන්දු මහත්තයා කියන සරුංගලේ කියල සින්දුවක් තියනවා. ඒක ගැන නම් වැඩි විස්තර දන්නෙ නෑ. ඒකත් අහල බලමු.

Thursday, June 16, 2016

සඳ ගිරි මුදුන

කාලෙන් කාලෙට එක එක විදිහෙ සංගීත වැඩසටහන් එනවා. අපි පුංචි එවුන් කාලෙ තිබ්බා යත්‍රා කියල එකක්. උමාගෙ සින්දුව එතකොට ඉවාන් පවුළුෂා එහෙම ඒ වැඩසටහන හරහා ආවා. රූපවාහිනියෙ මහේෂ් නිශ්ශංක තමයි හුඟක් වැඩසටහන් හදල ගෙනාවෙ. සුරම්‍ය රාත්‍රිය, මනෝහාරී, නදුන් උයන ඒ වගේ වැඩසටහන්. තවත් මතක් වෙන ඒවා තියනවා 16+ සිහිනයකි රෑ වගේ ඒවා.

පස්සෙ එක එක චැනල් වලින් මේ වගේ වැඩසටහන් කලා. හැමදාමත් වෙනසක් ඉල්ලන අපේ තරුණ පරම්පරාව (වැඩිහිටියොත් එක්කම) මේ වැඩසටහන්  වලට පිස්සුවෙන් වගේ ඇළුම් කලා. දෙරණින් විකාශණය වෙච්ච ඩෙල් ස්ටුඩියෝ එකත් හැමෝම අතර හෝඳටම ජනප්‍රිය වෙච්ච එකක්. ඒ වගේම හිරු ටී වී අන්ප්ල්ග් එකත් දැන් ජනප්‍රියයි.

ඒත් මම දැන් කියන්න යන්නෙ හිරු ටී වී එකෙන් විකාශනය වෙලා ඉවරවෙච්ච වැඩසටහනක් ගැන කියන්න. ඒ නදීක ගුරුගේ මහතා මෙහෙයවපු  සඳගිරි මුදුන වැඩසටහන. සුභාවිත ගීතයේ විකාශනය ගැන තිබ්බ වැඩසටහනක්. සිංහල සංගීතයේ දැනට ඉන්න ජ්‍යෙෂ්ටම සංගීත වේදීන්ගේ ගීත කිහිපයක් අරගෙන ඒක සංගීතය ඇසුරෙන් ඉතිහාසය සාහිත්‍යය කවිය වගේ හැම පැත්තකින්ම විග්‍රහ කරන වැඩසටහනක්.  හැමදාම රසිකයෙක් හැටියට කෙනෙක් එකතුවෙනවා. බොහෝවිට කවියෙක් හැටියට රත්න ශ්‍රී විජේසිංහයන් වැඩසටහනේ ඉන්නවා.

ඔබ සිංහල ගීත ප්‍රේමියෙක් නම්, නැත්තම් සිංහල සුභාවිත ගීතය ගැන කැක්කුමක් ඇත්නම්, කවියෙක් නම්, කවියට ඇළුම් කරන්නේ නම්, සිංහල භාශාව ගැන දැනගැනීමට කැමති නම්, සංගීතයේ විවිධ අවස්ථා, රස, විවිධ රටවල සංගීතය ගැන පෝෂණයක් ලැබීමට කැමති නම් මේ වැඩසටහන රස විඳින්න.


අවාසනවට මේ වැඩසටහන කොටස් 31කින් අවසන් වෙලා තියනවා. හැබැයි යූ ටියුබ් එකේ වැඩසටහන් සියල්ලම තියනවා. අහන්න.



Friday, May 13, 2016

අපූරු හමුවීම

සියුමැලි කුඩා පුතු
ඔසවා මමත් බිරිඳත්
ගියවිට බෙහෙත්
ගන්නට පුතුට
සුපුරුදු මුහුණක් දැක
විගසින් බැලුවා මම
වසර ගණනකට පෙර
මා හා ළගින් හිඳ
සිනාසී දෑත් පටලා
සිටි ඔබ අද ඇවිත්
බෙහෙත් ගන්නට
ඔබේ පුතු සහ සැමියා සමග
අවස්ථා අපූරුද කෙතරම්
කිසිත් නොදත් ඔබ
කිසිත් නොදත් මා
නොදැක ගිය හැටි
නාඳුනන විලසින්

Saturday, April 23, 2016

නිහාල්සිංහ මතක

 

ඩී බී නිහාල්සිංහයන් මට ඉස්ඉස්ලේලාම මුන ගැසෙන්නේ  2012 වර්ෂයේ රූපවාහිනී ටෙලි සම්මාන උළෙල සඳහා මනරම් මීඩියා සොලුෂන්ස් සමග වැඩකරමින් සිටින අවස්ථාවකය. එම වර්ෂයේදී  ලංකාවේ පළමු ටෙලි වෘතාන්තයට තිස්වසරක් පිරී තිබුනි. ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කලේ  ඩී බී නිහාල්සිංහයන් විසිනි.  

නිහාල්සිංහ යන නම මා අසා තිබුනද රූපයෙන් මා ඔහු හමුවී නොතිබුනි. මුලින්ම මා ඔහු මුනගැසුනේ ලොන්ඩන් පෙදෙසේ ඔහුගේ නිවසේ දීය. අඩි හයකටත් වඩා උසැති මේ පාංශු දේහධාරී පුද්ගලයා අප නිවස තුලට කැඳවා ගත්තේ සොඳුරු සිනහවකින් පෙරදැරිවය.


එතැන් පටන් අපි බොහෝ දේ ඉගන ගැනීමට වරම් ලදිමු. ඔහුගේ නිවසේ ඇති සිනමා කෞතුකාගාරයේ ඇති කැමරා ආම්පන්න පෙන්වමින් ඔහු අප දැනුවත් කලේය. ඔහු තාක්ෂණික අතින් අතිදක්ෂයෙකි. නැතිනම් ලංකාවේ පළවෙනි ටෙලි නාට්‍යය ඔහුවිසින් අධ්‍යක්ෂණය නොකරනු ඇත.



ලංකාවට ගෙනා පළමු කැනන් 5D Mark II කැමරාව ඔහුගේය. වෙනුවෙන් ඔහු භාවිතා කරන්නේ 28-300 ටෙලි ලෙන්සයකි. එයින් ඔහුගත් ඡායාරූප මා සමග පෙන්වූයේ කුඩා ලමයෙකු පරිද්දෙනි. කැමරාව සහ ලෙන්සය භාවිතා කිරීමට මමද වාසනාවන්ත වූයෙමි. ඇත්තෙන්ම එවන් බර ලෙන්සයක් භාවිත කල හැක්කේ ඔහුවැනි “හයේ හතරේ“ පුද්ගලයෙකුට පමණි.

රුචිර ඔයත් මාක් ටූ එකක් ගන්න
මා දකින හැම වෙලාවේම මට ඔහු පැවසුවේ එයයි. ඔහුට මගේ නම මතක ඒ ලෙසය.


ලංකාවේ පළමුවැනි සිනමාස්කෝප් චිත්‍රපටය ඔහුගේය. වැලිකතරය. ඒ ගැන හැමතැනම කතා වන නිසා වැඩි යමක් මම නොපවසමි.

අද වසංගතයක් සේ පැතිරුණද ලංකාවට වෙළඳ දැන්වීම් කලාව රැගෙන ඒමේ මූලිකයෙක් වූයේද නිහාල්සිංහයන්ය.

පුතා ඔයා දන්නවද මගෙ තාත්තව. එයා තමයි ඩී බී ධනපාල

වරෙක ඔහු මගෙන් විමසූ පැණයට ඔහුම පිළිතුරු දුන්නේය. අතර තුරදී ඔහුගේ ඩී වී ඩී පුස්තකාලය මම පරිහරණය කලෙමි.

බැලුවට කමක් නෑ. ගෙනියන්න දෙන්නෙ නෑ
ඔහු සිනහවෙමින් පැවසූවත් එහි ඇති අරුත වූයේ කළින් අරං ගිය අය ඉතාම හොඳින් නැවත ලබා දුන් බවයි.

පළමු දිනයේ ඔහු හා ගෙවූ පැය කිහිපය තුල ජීවිතයට බොහෝ පාඩම් එකතුවිය.
  •     වැදගත්ම දේ කිසියම් වෘත්තියක ප්‍රවීනයෙක් වීමට ඔබ සෑම කරුණක්ම ස්පර්ශකොට තැබිය යුතු බවය

  •      තවත් දෙයක් නම් ඔබ ප්‍රවීණයෙක් නම් එම වෘත්තියට සම්බන්ධ අනෙකුත් කරුණුත් මදක් හෝ දැන ගත යුතු බවය. (ඔහු සිනමාවේ ප්‍රවීනයෙකි. අතරම ඔහුට ඡායාරූපකරනය හා අනෙකුත් තාක්ෂණික විශයයන් ගැන විශාල දැනුමක් විය)

  •          කෙතරම් පොරක්වුවත් සරල විය යුතුය.


තිස් වසරකට පෙර නිපදවුවද දිමුතු මුතු ටෙලි නාට්යෙය් සියළුම ශිල්පීන් (නළු නිළියන් / තාක්ෂණික ශිල්පීන් සහ අනෙකුත් සෙසු ශිල්පීන්) මුල අකුරු සමග නමින්ම ඔහුට හොදින්ම මතකයේ තිබුනි. ඒ සඳහා ඔහුට නාට්‍යෙය් නාමාවලිය බැලීමට අවශ්‍යයතාවයක් නොවීය.


තවත් දවසක උදයම අපගේ කාර්යාලයට ඔහු පැමිණියේ දිමුතු මුතු වෙනුවෙන් සංස්කරණය වන Rushes සඳහා තමන්ගේ දායකත්වය ලබාදීමටයි. එහිදී නාට්‍යෙය් හැම ශිල්පියෙකුටම අවශ්‍යය පැසසුම ලබාදීමට ඔහු අමතක නොකලේය. මේ අතර වාරයේ තවත් බොහෝ දේවල් ඔහුගෙන් අසා දැනගතිමු. ලංකාවේ පළමු වැනි ටෙලි නාට්‍යය රූගත කිරීමේදී ඔවුන්ට මුහුණ දීමට වූ කෝටියක් තාක්ෂණික ගැටළු සහ ඒවාට ඔවුන් ලබාගත් විසඳුම් ඇත්තෙන්ම පුදුම සහගතය. මන්දයත් ගැටළුවක් පැණ නැගුන විට විසඳීමට ඒවන විට ලංකාවේ අත්දැකීම් ඇති කෙනෙක් නොසිටි නිසා ඔවුන්ම ඒ වෙනුවෙන් වෙහෙසී පිළිතුරු සොයාගත් නිසාත්ය.

නොදන්නා යමක් ඔහුගෙන් විමසීමේදී ඔහු ඒ හැමදෙයක්ම ඉතාමත් පැහැදිලිව සරලව කියා දුන්නේය. නිහාල්සිංහයන් ගේ නම කියැවෙන හැමතැනකදීම අපි සර් කියා කටපුරා කියන්නේ ඒ නිසාය.

ඔහුගේ නිවස තුල ඔහුට නැරඹීමට කුඩා ප්‍රමානයේ සිනමා ශාලාවක් විය. අප ඔහු මුණ ගැසුනු දෙවන දවසේ එහි ක්‍රියාකාරීත්වය අපට පෙන්වීය.

පුතා හිතන්නෙ මම ෆිල්ම් කීයක් කරල ඇති කියලද?“
සිනමාවේ පතාක යෝධයෙක් මගෙන් අප මුනගැහුනු වරෙක එසේ අසයි. මම ඒවනවිටත් ඔහුගැන හරියටම නොදනිමි.

පහලවක් විතර
මගේ පිළිතුරයි. මගේ පිළිතුරට ඔහු මද සිනාවක් පා

අපෝ එච්චර කලා නම් මොකද. මම කලේ ෆිල්ම් 4යි
එදා හවස මගේ ස්ව අධ්‍යයනය වූයේ ෆිල්ම් 4ක් කල කෙනෙක් පතාක යෝධයෙක් වූයේ කෙසේද? යන්නයි.

එදින හවසම මට ඒ සඳහා පිළිතුරක් ලැබිනි.

ඔහුගේ කාමරයේ බිත්ති වල පිටරට (මගේ මතකය හැටියට නම් එය ඉන්දුනීසියානු හෝ මැලේසියානු) චිත්‍රපටයක ප්‍රචාරක පුවරු කිහිපයක් සවිකර තිබුණි. ඔහුගෙන් එය විමසූ විට එම චිත්‍රපටය ඔහුගේ නිෂ්පාදනයක් බවත් එය ඒ වසරේ එරට වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය බවත් දැනගත හැකිවිය.

ඔහු අධ්‍යක්ෂණයේ පරතෙරට ගිය අයෙකි. වීඩියෝ කලාවේ අ යන්නවත් නොදත් මට රූපවාහිනී ටෙලි සම්මාන උළෙලේ Rushes වෙනුවෙන් ඔහුව අධ්‍යක්ෂණය කිරීමට සිදුවිය. (එය අධ්‍යක්ෂණයක් නොව ආයාචනයක් යයයි මම සිතමි)

“රුචිර ඔයාට ඕනෙ විදිහ කියන්න. මම ඔයාට ඕනෙ විදිහට ඇක්ට් කරන්නම්. මම ලොක්කෙක් වුනාට මෙතන දැන් ඔයයි ඩිරෙක්ටර්“ 

ඔහු එවන් පුද්ගලයෙකි. කොළඹ 7 ජීවත් වුනාට බී එම් ඩබ්ලිව් රථයක් තිබුනාට (බොහෝ විට අප මුන ගැසීමට ඔහු එය පැදවූයේ තනිවමය) ඔහු මිනිසුන් සමග ගැවසුනු මිනිසුන් සමග ජීවත් වුනු සොඳුරු මිනිසෙකි.

2012 රූපවාහිනී ටෙලි සම්මාන උලෙල අවසන් විය. උළෙල අවසන් වූ පසුත් මේ සොඳුරු මිනිසා අපහමුවට පැමිණ අපට සුබපතා යන්නට ගියේය.

පසු සතියක මම ඔහුගේ ඡායාරූපයක් ගෙන එය රාමු කර ඔහුට බාරදීමට නිවසට ගියත් ඔහු නිවසේ නොසිටියේය. මම එය නිවසට බාර දී ගෙදර ඒමටත් පෙර එතුමා මා ඇමතීය.

“මං කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් මට හම්බවෙයි කියලා. ඔයා මාව අවුරුදු ගානක් තරුණ කරලා පොටෝ අරං. මට ඔයාව හම්බවෙන්න ඕනෙ“

මම යන්තම් ගත් ඡායාරූපයට එතුමාගේ ඇගයීම මට මහමෙරක් තරම් විය. මට එතුමා මුණ ගැසීමට නොහැකි වූවත් එතුමා මාවෙනුවෙන් ස්තුති පත්‍රයක් එවා තිබුණි. එය මා ඡායාරූපයක් වෙනුවෙන් ලද පළමුවෙනි සහ එකම ස්තුතියයි.

එයින් පසු එතුමාව මට මෑතකදී මුණ ගැසුනේ ප්‍රවීන ඡායාරූප ශිල්පී නැසීගිය නිහාල් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පැවති අනුස්මරණ උත්සවයකදී ප්‍රධාන කථිකයා ලෙසය.

එහිදී ඔහු කීවේ “The නිහාල් ගැන A නිහාල් කෙනෙක් කතා කරන්න යන්නෙ“ යනුවෙනි. නිහාල් ප්‍රනාන්දු මහතා එතුමාගේ සමකාලීන මිත්‍රෙයක් වුවත් එතුමා පිදිය යුතු මිනිසුන් පිදුවේ ඒ ආකාරයෙනි.

දයාබර නිහාල්සිංහ සර්..

ඔබ යුග ගනනාවක් බිහිකල යුග පුරුෂයෙක් විය. ඔබ බිහිකල යුගවල ඔබ නැති අඩුව සදාකල් දැනෙනු ඇත.


සර්.. ඔබට නිවන් සුව අත්වේවා!!!

-----------------------------------------------------
ඡායාරූප 
1. එතුමා වෙනුවෙන් මා ලබාගත් ඡායාරූපය
2. එතුමාගේ සිනමා කෞතුකාගාරය
3.එතුමාගේ සිනමා කෞතුකාගාරය
4.එතුමාගේ සම්මාන ස්වල්පයක්
5.එතුමාගේ සිනමා කෞතුකාගාරය
6.එතුමාගේ 5ඩී මාක් 2 කැමරාව
7.එතුමාගේ 5ඩී මාක් 2 කැමරාව
8.එතුමාගේ 5ඩී මාක් 2 කැමරාව. එතුමාගේ විදේශීය චිත්‍රපටයේ ප්‍රචාරක පුවරුක කොටසක්ද දැක්වේ
9.වැලිකතර ප්‍රචාරක පුවරුව
10. දිමුතු මුතු නාට්‍යෙය් දර්ශනයක්
11. මනරම් මීඩියා ශිල්පීන් සමග
12/13 - එතුමාව රූගත කිරීම
14. මම ලද ස්තුති පත්‍රය
15. ඩී බී නිහාල්සිංහයන්