Tuesday, April 16, 2013
Tuesday, January 29, 2013
වෙලඳ දැන්වීමක අසිරිය
මීටත් කලින් වෙළඳ දැන්වීම් ගැන කතා කලෙමි. ඒ වෙළඳ දැන්වීම් ද කලාවක් වන
බැවිනි. දැන් කතා කරන්න යන්නේද වෙළඳ දැන්වීමක් ගැනය. කාලයෙන් කාලයට වෙළඳ ප්‍රචාරණ
විධි වෙනස් වෙයි. දැන් ඇති අළුත්ම ප්‍රචාරන විදිහ වන්නේ ඊ මේල් මාකටින්ය. මේ
ඊමේලයක් හරහා මට ලැබුණු එවන් දැන්වීමකි. භාවිතා කරන මොනිටරයේ විභේදනය
(සිංහලෙන් රෙසලුෂන්) එකත් එක්ක මට ඉස්සෙලාම පෙනුනෙ මේ කොටස.
අම්මාගේ සෙනෙහස මිල කල නොහැකි වුවත් මේ දැන්වීමට අනුව එය දැන් “සේල්” දමා
තිබේ. පසුව එම පෙනෙන විභේදනයෙන්ම මදක් පහලට ගත්විට තවත් අළුත් යමක් නෙත ගැටුන.
කුඩා දරුවෙකු 20%ක් අඩුවෙන් ලැබේ. තුන් දෙනෙක් ලැබෙන්නේ දෙදෙනෙකුගේ මිලටය.
මේ කියන හරුපයේ තේරෙන ටික තිබුනේ පහලම කොටසේය. මේ බ්ලොග් එක වෙළඳ ප්‍රචාරන
මාධ්‍යක් නොවන නිසා ඒ ටික මම පළ කරන්නේ නැත.
වෙළඳ දැන්වීමක් වූ කලී කලාවකි. එයට ජනයා ඇද බැඳ තබාගත හැකිවිය යුතුය. ඇස
ගැටෙනා පළමු අවස්ථාවේම විකුනන භාන්ඩය ගැන අවබෝධයක් සහ ආසාවක් පාරිභෝගිකයා තුල
ඇතිවිය යුතුය. දැන්වීම් නිර්මාණය කරන්නෝ මේ පිළිබඳව මීට වඩා උනන්දු විය යුතුය. මේ
තවත් එක් උදාහරණයක් පමණි.
Labels:
වෙළඳ දැන්වීම්,
සිතුවිලි
Monday, November 26, 2012
Colour සිංහල චිත්‍රපටය
ඉසුරු වීරසිංහ මුදලි නැමති තරුණ සිනමාවේදියාගේ කලර් නැමති සිනමා රූප කාව්‍යය නැරඹුවෙමි. මම මහා ලොකු විචාරකයෙක් නොවෙමි. නමුත් එහිදී දැනුනදේ ලියාතබමි.
ඒ ඉසුරුගේ පළමු සිනමා අත්දැකීමයි. මුළු චිත්‍රපටය පුරාම ගලාගෙන යන තිරපිටපතක් එහි අඩංගුය. තිර පිටපතේ මාකටින් පොයින්ට් එක හැටියට ඔවුන් ගන්නේ එහි නළු නිළියන්ගේ චරිත වලට නාමකරණයක් නොමැතිවීමයි. තරුණයා තරුණිය සිත්තරා ලෙස ඒවා ඇතිබව ඔවුන් නැවත නැවත විවිධ තැන්වල පැවසීම නිසා එය මාර්කටින් පොයින්ට් එකක් බව මම විස්වාස කරමි.
ඉසුරු කලින් වැඩ කරන්නේ වෙළද දැන්වීම් සමගය. (මම එසේ ඇසුවේ ඔවුන්ගේ වැඩසටහන් වලිනි) මට හැඟෙන දැනෙන එවැනි වෙළද දැන්වීම් ගති චිත්‍රපටියේ ද අඩංගු වෙයි. හොඳයයි සිතෙන තිර පිටපතක කාල වකවානු ගැලපීමේදි පිටපතේ ජීවගුණය නැතිවී ගිය අවස්ථා ඇතිවී තිබේ. උදාහරණයක් ලෙස කීවොත් චිත්‍රපටයේ අවසන් භාගයේ සිත්තරා නැවත තමන්ගේ කලාගාරයට යන අවස්ථාව සලකමු. ඔහු එයට යන්නේ කතාවේ හැටියට අඩුම තරමේ අවුරුදු 20-25 කට පමණ පසුවය. (චිත්‍රපටයේ තරුණයාගේ චරිතය රඟපාන ප්‍රියන්ත මංසිළු එහි රඟපාන්නේ අඩුම තරමින් වයස 25ක තරුණයකුගේ චරිතයකැයි මම සිතමි) ඉන්පෙර ඔහු අවසන් වරට එහි ගියේ සඳනි සුලක්ඛනාට දරුවෙකු ඉපදෙන්නට ඉන්නා කාලයේ යැයි ඉඟියක් ඒ තුලින් ජනිත වෙයි. වසර 25කට පසු යතුර සොයාගෙන ගොස් දොර අරින විට කලාගාරය පැරණි වී ඇතිබවට සාක්ෂි දෙකක් වේ. එනම් කලාගාරය තුල හුඹසක් වැඩී තිබීමත් බංකුව දිරා තිබීමත්ය. දූවිලි ඇත්තේ අවසන් වරට ඇඳි චිත්‍රයේ පමණි. ඉන් පෙර ඇඳි කැන්වස් චිත්‍ර ඒ ආකාරයෙන් පැවතීම පුදුම සහගතය. කලාගාරයේ වසර විසිපහක් තිස්සේ ඉතිරිවී ඇති අනිත් දෙය නම් සුලක්ඛනා ලියූ ලිපියයි. ලෑලි දිරා ගියද ලිපිය සමග එහි අත් අකුරු වසර 25කට පමන පසුව පැවතීම වෙළඳ දැන්වීමක ස්වරෑපය ගනියි.
කමල් අද්දරආරච්චි නම් ජ්‍යෙෂ්ට නළුවා චිත්‍රපටය තුල තම අඥාදායකත්වය පතුරවයි. ඇතැම් විට තිර පිටපතේ අවස්ථා නිසා ඒ අවස්ථා මග හැරී යයි. සල්ලිවලට කලාකාමීත්වය විකුනන්නේ නැතැයි කියන ඔහු තම කාමය හමුවේ එය විකුණයි. (මං දන්නෙ නෑ මට හිතෙන හැටි). දර්ශන දෙක තුනක පමණක් පෙනී සිටින ජයනි සේනානායක තමන්ගේ චරිතය මැනවින් රඟපායි. ඒ සඳහා ඇය වේදිකාවෙන් ලබාගත් අත්දැකීම් මොනවට භාවිතා කරයි.
ඉසුරුවැනි තරුණ නිර්මාන කරුවන්ගේ පැමිණිම සිනමාට වැදගත්ය. සිනමාව තුල ඔවුන් තෙම්පරාදු වනවිට තවත් වසර කිහිපයකින් ඔවුන් ඉතාම හොඳ නිර්මාන කරනු ඇත.
මුළු චිත්‍රපටිය පුරාවටම මගේ මතකයේ රැඳෙන එක දෙබසක් තිබේ. ඒ ශ්‍රීමාල් වෙඩිසිංහ කමල් අද්දර ආරච්චිට කියන "කොල්ලටයි බල්ලටයි හැමෝටම 'ආර්ට්' තේරෙන්නේ නැහැ පුතා."
ඇත්තය. ඇතැම්විට මමද ඇත්තේ එතැන විය හැකිය. නමුත් මේ මගේ අදහසයි.
Tuesday, October 23, 2012
දුවේ
දුවේ
මම නුඹට පොරොන්දුවක් වීමී
ඒ නැවත නුඹ ගැන නොවිමසන බවය
නුඹ මා හැරදා
වසරක් ගෙවෙන්නේ අදය
සිටියානම්
මා තුරුල්ලේ සුරතල් වදන් පවසමින්
අම්මා සොයන්නී
ඔබයි
දුවේ
තිස් වසක ම දිවියේ
මා ලබාගත්
බොහෝ භෞතික දේ අතර
එකම මානුෂික වස්තුව නුඹම විය
අනේක භෞතිය සම්පත්ද
මගෙන් ඈත්වන බව
මම දැන සිටියද
නුඹ වැනි මානුශිය සම්පත්
මගෙන් ඈත්වෙතැයි
මා සිහිනෙන් වත් නොසිතුවෙමි
අවසානයේ ඉතිරිවූයේ
අප අතරේ බැදි
නොනිමෙන සෙනෙහස පමණි
දුවේ
තවත් අනන්ත කාලයක්
මේ සසරේ අප මුණ ගැසේවි
කිසිදු විටක
මෙවන් අකල් වියෝවක්
තවත් ඔබට සිදුවන්න එපා.
Tuesday, September 25, 2012
මැගී කුටියේ යුවතිය
මන්දාරම් අඳුරේ
පොත් ප්‍රදර්ශනයේ
සිහින් වරුසාවේ
දිවවුත් නැවතුනේ ඈ
මැගී කුටිය ලඟ
මද කුසගිනි
නිවනු රිසියෙන්
අදිමින් මුදල් පසුම්බිය
ඉල්ලයි ඈ
කෝප්පයක් පුරවා මැගී
රස නහර පිනායන
පිසලයි ඈ
සේද සාරි පොටින්
තෙමුනු ඇගේ වත
සිහින් වරුසාවට
මැගී කෝප්පය ගෙන
මද සිනා පා මට
දිවයයි ඈ සෙවනක් සොයා
අවසන් වූ පසු මැගී බඳුන
ඉසිලීය ඇගෙ පඬුවන්
ජනශක්ති කුඩය
නැවතත් හරි හරියට
පිය නගන්නී ඈ
තවත් පොත් කුටියක් වෙත
මගේ මැගී බඳුනද
දැන් අවසන් වී ඇත
කුඩයක් රහිතව මම
තෙමෙමින්ම ඒ වැස්සේ
ගියෙමි වෙනත් කුටියක් කරා
තවත් පොත් ගැනුමට
Friday, August 17, 2012
Friday, July 13, 2012
සාශා
සාශා
මට ඉස්සෙල්ලාම
ඔබ හමුවුනු දිනය
තවමත් මතකයි
ඒ ගෝර්කිගෙ
අම්මා පොතෙන්
එදා වගේම
ඒ සාශාට
මම හරි ආදරෙයි
ඔබත් මට ආදරේ
බව
මම දන්නවා
හැබැයි ඒ
හුණුවටයේ ගෲෂා
මයිකල්ට කුමාරයාට
තිබ්බා වගේ
නෙමෙයි කියල
මම හිතනවා
ඒ ගෲෂා
ඔබ සාශා
පුංචි තිත්
දෙකක් ඇති ඔබේ මුහුණ
මට මැවිලා
පේනවා
වොඩ්කා
බිංදුවක් වගේ ඔබ
හරිම කුල්මත්
බැලලයිකාවෙන්
වැයෙන ස්වරයක්
වගේ ඔබ ගීතවත්
ඔබත් එක්ක
තනියම
කතා කරමින්
ඔබේ සුදු
අතගෙන
පොප්ලර් ගස්
වැවුනු
මිටියාවතේ
ඇවිදින්න ආසයි
ඉතින් ඔබ මගේ
ලඟ නෑ
ඒත් ඔබ හැමදාම
මගේ හිතේ
ලැගුම්ගෙන
ඉඳියි
ඉඳින් මම
හැමදාම
ඔබට සාශා යයි
අමතමි
මට කල හැක්කේ
එපමණයි
Subscribe to:
Posts (Atom)















