Sunday, June 16, 2013

කෙටි ප්‍රශ්න පත්තරේ‍ට කණා නොගහ උත්තර ලියමු



විභාග. තවත් ඔළුව කැක්කුම හැදෙන මාතෘකාවක්. එලිවෙනකං නිදිමරාගෙන පාඩම් කරල ලියන්න ගියහම මුකුත් මතක නැතිවෙන එක විභාගවල ලක්ෂණයක් කියල විභාග ලියන හුඟදෙනෙක් දන්නවා. ‍විභාගෙත් කෙටි ප්‍රශ්න පත්තරේ කියන්නෙ කෙටි කාලෙකින් මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට ප්‍රශ්න හදල උත්තරත් දීල හරි උත්තරේ අහන දරුණු ඛේදවාචකයක්. හුඟක් දෙනෙක් මේකෙ නොදන්න ඒවට කරන්නෙ ටක් ටික් ටුක් කියල කණා ගහන එක. හැබැයි මේ කණා ගහන එකත් කලාවක්. එහෙම නැත්තම් ආර්ට් එකකට කරන්න පුළුවන්. නිකන් කණාගහල හරියනවට වඩා වැඩි ප්‍රතිශතයක් මේකෙන් හරියනවා. මේ ආර්ට් එක හරියන්නෙ පහත කොන්දේසි එක්ක විතරයි.
  • ප්‍රශ්න පත්‍රය බහුවරණ විය යුතුයි.
  • ප්‍රශ්න පත්‍රය සම්මත  විභාග රීති වලට අනුකූල විය යුතුයි. (ඒ කිව්වෙ තියෙන්න පුළුවන් එක උත්තරයක් විතරයි ව‍ගේ ඒවා)
  • භාෂාව මොකක් වුනත් කමක් නෑ.

දැන් බලමු උත්තර තෝරගන්නෙ කොහොමද කියල.
  • කිසියම් විස්තරාත්මක ප්‍රශ්නයකට ඇත්තේ විස්තරාත්මක පිළිතුරක් නම් පිළිතුර බොහෝවිට දිගම පිළිතුර වේ. මේකට හේතුව වෙන්නෙ කිසියම් දෙයක් අපිට හොදටම විස්තර කරන්න පුළුවන් දීර්ඝ රචනාවකින් වීම. හොදම උදාහරණය තමයි සන්දේශ කාව්‍යය. අවස්ථාව පොඩි දෙයක් වුනත් ඒක දීර්ඝව විස්තර කරනවා. මෙය මෙසේ වන්නේ මේ නිසාය කියල කෙටියෙන් උත්තර දෙන්නත් පුළුවන්. ඒත් ඒක දිග ආකාරයට විස්තර කරන එක ඊට වඩා හුගක් වෙලාවට සිද්ධ වෙනවා.
  •  ප්‍රශ්නය අහල මෙයින් සත්‍යයවන්නේ කුමක්ද කියල අහනකොටත් හුගක් වෙලාවට පිළිතුර වෙන්නෙ දිගම උත්තරේ. හේතුව වෙන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න අපිට අමතර විස්තරයක් ඕනෙ වෙන නිසා.
  • කිසියම් ප්‍රශ්නයක් ඉවරවන්නේ "හැර"Except යන්නෙන් හෝ අසත්‍යයවන්නේ කුමන පිළිතුරද කියා විමසූ විටද බොහෝවිට පිළිතුර වන්නේ දිගම පිළිතුරයි. ඒ මන්ද යත් බොරුවක් පැවසීමටද සාමාන්‍යය වචන ප්‍රමාණයට වඩා වැඩි වචන ප්‍රමාණයක් අවශ්‍යයවන නිසාය.
  • සවිස්තරාත්මක ප්‍රශ්නයකදී බොහෝවිට පළමු පිළිතුර නිවැරදි පිළිතුර වේ. මෙයට හේතුවන්නේ දීර්ඝ ප්‍රශ්නයක් කියවා අවසනදී අපේක්ෂකයා තවත් වෙහෙස කිරීම නැවැත්වීමට පළමු පිළිතුර නිවැරදි පිළිතුර බවට පත්කරයි.
  • ප්‍රශ්නයක පිළිතුර එකම අගයක + හෝ - අගයන් වේ නම් පිළිතුර බොහෝවිට ඒ දෙකෙන් එකක් වේ. උදාහරණයක් ලෙස කිසියම් පැණයක පිළිතුරු 4 පහත සදහන් ලෙස ගනිමු.

  • A.      2
  • B.      -5
  • C.      3
  • D.      5

  බොහෝවිට පිළිතුර වන්නේ +5 හෝ -5ය
  • ප්‍රශ්නය පුරාවට දත්ත සපයා ඇත්නම් ඒ දත්ත මගින් වැරදි පිළිතුරු හෝ නොගැලපෙන පිළිතුරු ඉවත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි පිළිතුරට මග පෙන්වයි. මේ සඳහා මූලික දැනුමක් අවශ්‍යය වේ.
  • කිසියම් ප්‍රශ්න පත්‍රයක එක ප්‍රශ්නයක් සඳහා වරණ 4ක් ඇතැයි සිතමු. පිළිතුරක් සසම්භාවී ලෙස ගතහොත් පිළිතුරක් නිවැරදි වීමේ සම්භාවිතාව 25%කි. එනම් ප්‍රශ්න 100ක් ඇති ප්‍රශ්න පත්‍රයක සියළුම පිළිතුරු සඳහා පළමු වරණය තෝරා ගතහොත් මුළු ප්‍රශ්න පත්‍රයේ ලකුණු සම්භාවිතාවය 25%කි.

මේ බොහෝ තරඟ විභාගවලදී පිළිතුරු සොයාගත හැකි රීතීන්ය. මේවා රීති බැවින් කිසිවක් නිවැරදි නොවිය හැකිය. නමුත් බොහෝවිට 60% ක් පමණ දුරට මේවා සත්‍යයවේ.


විභාගයකදී කණා නොගසා පාඩම් කිරීම යෙහෙකි. නමුත් කණා ගැසීමට සිදුවේ නම් මේ දේවලුත් සිහියේ තබාගන්න.  ඔබ‍ට ජය!