Saturday, October 15, 2011

සඳ එළිය සමග තවත් කවියක්

සඳ එළිය ඇයයි
ඇයමයි
පාර පුරා
දෝරෙ ගලන මුත්
සඳ එළියෙන් 
දෝතක් ගන්න
මට ඉඩක් නැති හැටි

Wednesday, September 28, 2011

පාළුව


දැන්නම් හරිම පාළුයි
එන්න දැන් කිට්ටුයි
කවදාද ඔබ එන්නෙ
මගේ සිත සතුටින්
ඇගිළි ගනිමින් සිටිමි මම
බිරිදගේ කුස පිරිමදිමින්

Monday, September 26, 2011

නොනිමි කවිය

මම කොටයි තලඑලළුයි
මම ආස සුදු උස ගෑණු ළමයෙකුට
ඒ සුදු උස ගෑණු ළමයා කැමති
කළු උස පිරිමි ළමයෙකුට
ඉතින්....

Tuesday, August 2, 2011

හිමිකම

ඉස්සර අයිතිය ඔබටයි
දැන් අයිති මටයි
ඇය දැන් මගෙයි
ඒත් ඇය
ඔබ ගැනම පවසයි
ඇගෙ සතුට ගැන සිතා
මුවින් නොබැන
බලාහිදිමි මම්
ඇය මා ගැන පවසන තුරු

Saturday, July 9, 2011

දොස්තර සහ බල්ලා

නිමිත්ත - උණ සෑදුනු ලෙඩෙකු දොස්තර බංගලාවට බේත් ගැනීමට යයි

ගියා උණ හැදුණු නිසා 
බේත් ගන්නට 
දොස්තර බංගලාවට 
දොස්තර නැත පෙනෙන්නට
හඩගෑමි මම ඔහුට
වැඩුණු බල්ලෙකු
දුවවිත් පැමිණ
හපාකයි
උණ හැදුන මාව
ටිකකින් දොස්තර එයි 
මා අභියසට
බෲනෝ යන්න
ගෙට යන්න
දොස්තර මහත්තයෝ
බල්ලා මාව කෑවා
කෝ එන්න බලන්න
තුවාල වෙලා නෑ එච්චර
මේ බල්ලා ඔහොමමයි
නිතරම මිනිස්සුන්ව හපනවා
එහෙනම් ඇයි බැදල දාන්නෙ නැත්තේ
හිතට ආමුත්
කටින් පිට නොවුනි වචනය
තුවාලෙට බේත් දමයි
උණටත් බේත් දෙයි
ගාන තුන්සිය පනහයි
බල්ලා කෑවටවත් නැද්ද ඩිස්කවුන්ට්
නැවතත් හිතට එයි
බේත් විදින්න වෙයිද - මම අසයි
ඕනෙ නෑ බල්ලට විදල තියෙන්නෙ
!@#$%^&&&*!@#
කෑවත් මොකෝ බොලව්
ඉස්තරම් ජාතියක බල්ලෙක් නොවැ
බුරම්පි ආතා පාරෙදි කිව්වා
ජාතිය ඉස්තරම් උනත් 
බල්ලෙක් නොවැ මං ආත‍ට කිව්වා
කකුල අද්දමින් 
මම වැඩට යමි
මොකෝ බං උනේ
සගයෝ විමසයි
බල්ලෙක් හපා කෑවා බං
ඉතින් දැන් බල්ලට පිස්සුද?
නැවතත් !@#$%^&&&*!@#
මමනෙ මගෙ අමාරුව දන්නේ (හිතේ + කකුලේ)
බල්ලත් ඒක දන්නවා නම්
හපා කන්නෙ නෑ කවදාවත් මාව

Wednesday, May 4, 2011

බිරිද විවාහය සහ ප්‍රේමය


ලියන්න හිතාගෙන හිටියෙ ඇත්තටම වෙන පෝස්ට් එකක්. ඒත් හදිස්සියෙම හිතට දැනිච්ච සිතුවිල්ලක් හින්ද  මේ පෝස්ට් එක ලියන්න හිතුනා. 

හුගක් අය ප්‍රේමය කියන එක ඇතිවෙන්න අත්විදිනවා. ප්‍රේමයේ අවසාන ඵලය විවාහයම විතරක් නෙමෙයි. එහෙම නොවෙච්ච අවස්ථාවක ඇතිවෙච්ච හැගීම් එකතු කරල ලියවිච්ච ගීත කීපයක එකතුවක් මම කලින් පෝස්ට් එකකින් ලිව්වා. 

දැන් ලියන්නෙ විවාහය කියන අවසාන පළය ලැබුනහම හිතට ආපු අදහසක්. ඒත් බැන්දහම කෙලින්ම තමන්ගෙ පවුලව ආමන්ත්‍රනය කරන හිතට දැනෙන තැන් හරි අඩුයි. අපි ( අපි කිව්වෙ හේමාලුයි මමයි) දෙන්නා සෙට් වෙලා ඉගන ගන්න කාලෙ ප්‍රේමය ගැනත් ඒ ගැන හිතට දැනෙන දේවල් ගැනත් හිතට දැනිච්ච දේවලුත් බෙදා හදා ගත්තා. ඒ කාලෙ තමයි දයාන් විතාරණ තමන්ගෙ පළවෙනි සංගීත ඇල්බම් එක රසිකයන්ට අහන්න දුන්නෙ. ඒකෙ තිබ්බ හුගක් සින්දු හිතට දැනෙන ඒවා. (පොඩි අමතක වීමකුත් තියනවා. ඔය කාලෙදිම තමයි වසන්ත කුමාර කොබවක තමන්ගෙ ගේය පද රචනා අඩංගු සී ඩී එකකුත් නිකුත් කලේ. මේක අපි ඇහැව්වෙ ඒකෙන්ද මන්දා) ඒකෙන් එක සින්දුවක් තදින්ම හිතට වැදුනා.

ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මට මෙහි නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක

සාගරය තුරුල්ලේ යාවි ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයට උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන

මේ සින්දුව ලිව්වෙ නම් වසන්ත කුමාර කොබවක. සංගීතය නවරත්න ගමගේ. ප්‍රේමය වෙනුවෙන් මැරෙන්නම් කියල සින්දු කියපු කාලෙ මේ වගේ පද පේලියක් තිබ්බ සින්දුවක් ඇත්තටම හිතට හරිම සැනසුමක් වුනා.
අයාලේ පාවෙලා ගිය හිත නවතින්නෙ උණුසුම් වෙච්ච කැදැල්ලක. ඒ කැදැල්ලේ ගෙවන ආදරය තරම් සුවයක් මට වෙන කොයින්ද?

මේ ගීතයේ අමුතු සිංහල වචන තිබ්බා. ගීතයේ තේරුම හොදින් දැන ගන්න ඕනෙ හන්ද හේමාලුත් මමත් ඒ වචන වල අර්ථය මොකක්ද කියල හොයල බැලුවා.

“මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස”
මුලින්ම ඔය පද ටික ඇහුනෙ “වේ ගුලකින් රිංගන තරු එලියක් ලෙස” කියල. වේගුලකින් කොහොමද තරු එලියක් එන්නෙ. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ. පස්සෙ තමයි දැනගත්තෙ මේ කුල කියල කියන්නෙ මේඝ වලාකුල කියලා. කැට තලය කියන්නෙ කැටපත් පවුර කියල.

ඊටත් පස්සෙ තවත් හිතට වැදුනු සින්දුවක්. මට මේ සින්දුව අහන්න හම්බවුනේ මගෙත් හිතේ ලොකු ප්‍රශ්නයක් තිබ්බ දවසක. එදා අපි මේ සින්දුවෙ ගිටාර් කෝඩ් ටිකත් හොයාගෙන හිතේ හැටියට කිව්වෙ දමිතුයි දිනුකයි එක්ක ඒගොල්ලන් ගෙ ගෙදරදි. 

හිරුට හොරෙන් සඳූට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් සැදූ ලොවයි
අපේ ආදරේ

ඔබේ නුවන් තරු එළියෙන්
ඒ ලෝකයේ සිරි නරඹන්නම්
තවත් කුමටදෝ එළියක්
මගේ ලෝකයේ

ඔබේ වදන් අමසරයෙන්
ඒ ලෝකයේ නද රැව්දේ නම්
තවත් කුමටදෝ මිහිරක්
අපේ ලෝකයේ

මේ ගීතය ගායනා කරන්නෙ ටී එම් ජයරත්න සින්දුව ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශයන්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහණ වීරසිංහයන්.

මට අවැසි ඔබ පමණයි. ඔබේ දෑසේ තරු එලියෙන් මා ලොව දකින්නම්. ඔබේ මිහිරි වදන් වලින් මම ලෝකයේ හඩ දැනගන්නම් . මට කුමටද තවත් එලියක්, තවත් හඩක්. ඔබේ ආදරය සෙනෙහස මේ හැමට වඩා යටයි ප්‍රියේ.

තමන්ගේ භාර්යාව ගැන ලියවිච්ච මම අහපු ලස්සනම සින්දුව කියන්නෙ අමරදේව මහත්තය. ඒ ගීතයෙන් භාර්යාවක් පිළිබද ස්වාමියෙක් තුල ජනිත වෙන උපරිම හැගුම් සමුදාය තියනවා. ඒ ලස්සන වදන් පෙල සොදුරු සංගීතයයි අමරදේවයින්ගෙ භාවමය ස්වරයයි එක්ක එකතු වුනහම ඇතිවෙන සිතුවිල්ල කියල නිම කරන්න බෑ.

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින....

මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්. .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අත දරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ. .

මේ ගීතය ලියල තියෙන්නෙ සුනිල් ආරියරත්න මහත්තය. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. දරුවන් ඉන්නා තාත්තා කෙනෙක් තමන්ගේ ප්‍රේමණීය භාර්යාව ගැන හිතන විදිහ. මම මේ සින්දුව අහපු මුල් දවසෙ වගේම අදත් එකවගේ විදින්න පුළුවන්. 

සුනිල් ආරියරත්නයන් මේ වචන ටික කොහොම ගෙත්තම් කලාද කියල මට තවමත් හිතාගන්න බෑ.

Wednesday, April 6, 2011

ආදරය සහ මරුවා

ඔබ මට ආදරෙන් සිටියාය
මම ඔබ සෙවනෙහි සැතපුනෙමි
හදිසියේම ඔබ මා මගහැරියේය
මම තනිව වැලපුනෙමි
මධුවිත දුම් පහස ලැබුවෙමි
පිළිකාව සිරෝසියාව
මවෙත පැමිනුනි
මට පසුව ඔබ සෙවනෙහි
සැතපුනු ඔහු සමග
ඔබ යුගදිවි අරඹද්දී
ඔබෙන් පලිගැනීමට සිතු මම
මරුවා සමග
දිවි සටන ඇරඹුවෙමි

Tuesday, March 29, 2011

සූරන ලොතරැයිය

දහසක් බලාපොරොත්තු මැද
සීරුවෙමි මම නුඹව
දෙනෝ දහසක් මැද
බලාපොරොත්තු සුන් කර
පෑරුවා ඔබ මාව

Tuesday, March 8, 2011

ගැහැනු

ගැහැනුන් සහ
වීදුරු බදුන්
එක වගේය
ටිකක් වේගයෙන්
හැපුනොත්
බිදී විසිරී යයි
තුවාල වන්නේ
භාවිතා කරන අතමය