Sunday, January 17, 2016

හෝ ගානා පොකුණ ඇත්තටම දැනෙනවාද?


මීට අවුරුදු 4 කට පමණ පෙර මම කාර්යාලයේ කටයුත්තක් සඳහා නේපාලයට ගියෙමි. ඒ නේපාලයේ ශීත සමය වූ අතර අයිස් මිදීම නිසා කත්මන්ඩු නගරයට ජලයද නොමැතිවිය. නේපාලයේ දී මගේ මිත්‍රයා වූයේ රාජන් ය. ඔහු මට වඩා දෙවසරකින් වැඩිමහල් අතර එවකට බලශක්තිය පිළිබඳ උපාධිධරයෙකු විය. කටකාර තරුණයෙකු වූ රාජන් නිතරම මා සමග දොඩමළු වූ අතර නේපාලයට සුවිශේෂ ආහාර ආදියෙන් මා නිතරම පිනවූයේය. වරෙක මම ඔහුගෙන් සී ෆුඩ් ගැන ඇසුවෙමි. නේපාලයට සී ෆුඩ් පැමිණිම කෙතරම් අපහසුදැයි මා දන්නා නමුත් රාජන් කිසිදා සී ෆුඩ් කා නොමැතිබව ඔහුගෙන් දැනගත් විට මා බොහෝ පුදුමයට පත්වීමි. එදින දවසම ඔහු මුහුද ගැන කතා කලා මට මතකය. ඉන්ටර්නෙට් හොඳින්ම පවතින යුගයක ඔහු මුහුද ගැන බොහෝ දේ සොයාගෙන තිබිනි. මමත් ඔහුට මුහුද ගැන විස්තර කියාදීමි.

සුනාමිය ආ වේලේ මගේ අත්දැකීම් ඔහු සමග බෙදාගතිමි. ඒවා ඔහුට දැනුනාදැයි නොදනිමි. මුහුදක් ඇති නමුත් එය විඳ නැති ඔහුගේ සොබා සෞන්දර්ය ගැන ජීවිතයේ එකම අභිලාශය මිය යාමට ප්‍රථම වෙරළක් අයිනට ගොස් ඉරබසිනා සැන්දෑවක රැල්ල පෑගීමවීම ගැන මම බොහෝ දුක්වීමි. තමන්ට ලැබෙන පඩියෙන් ඉතිරිකර ඔහුටත් ඔහුගේ බිරිඳටත් මුහුදක් ආසන්නයේ රටකට, එකම ගුවන් පථයක් ඇති කත්මණ්ඩුවෙන් පිටවීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනියයි ඔහුම මට පැවසුවා මට මතකය.

සුනාමියෙන් පසු මුහුද ගැන මා සතුව තිබූ ඒ දුක්බරම කතාව නැවත මට මතක් වූයේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ පළමුවන සිනමා නිර්මානය වන හෝගානා පොකුණ නැරඹීමෙන් පසුවය. කෘතිය ගැන පසුවිපරමක් කරන්නට විචාරයක් ලියන්නට තරම් මා සිනමාව ගැන දන්නේ නැති නමුත් කෘතිය පිළිබඳ මට හැඟෙන දැනෙන දේ මම ලියා තබමි.

විප්ලවයක් ගැන කතා කොට, විප්ලවයක් සිදුකර, තවත් විප්ලවයකින් අවසන් වන කතා පුවතක් ඇති මෙය සාමාන්‍ය රජකතාවලින් බොහෝ වෙනස් වන්නේය.

ළමයින්ගේ ආකල්ප ගැන ඔහුගේ විවරණය මා මුලින්ම දුටුවේ ජනාධිපති තාත්තා තුලිනි. කලම්බෝ කලම්බෝ යනු වෙනස්ම ආරක් ගත් වේදිකා නාට්‍යයකි. රාජිත දිසානායකගේ නාට්‍යවලින් පස්සෙ මගේ හිත කම්පනයට පත් කල වේදිකා නාට්‍ය මම දුටුවේ ඔහුගෙනි.

හෝ ගානා පොකුණ නැරඹූ විටද මගේ හිත ඒ ආකාරයටම සැලුනි. වැඩිහිටියන්ගේ හදවත් පසාකරන කුඩා දරුවන්ගේ දෙබස් ඔහු ළමුන් තුලින් අගේට පෙරාගෙන තිබුනි. උදා රැස්වීමේදී කතා කරන සියළු දරුවන්ගේ කතා (විශේෂයෙන්ම තාත්තා හිරේ සිටින දරුවා සහ දෑස් අන්ධ දැරිය) සංවේදී හිත්වලට ඇසට කඳුලක් නැගීමට සමත් නොවුනානම් පුදුමයකි.

යෝගට් කා චන්ඩි බණ්ඩියක් ඇති දරුවන් සහ විවිධ කිරිපිටි බී වැඩුනු කොළඹ ලමයින්ට වඩා මානව දයාව මේරූ බුද්ධිය එම ලමයින්ගෙන් ප්‍රදර්ශනය කිරීමය ඉන්දික ගත් වෙහෙස ප්‍රශංසනීය වේ.
සියළුම නළු නිළියන් (දරුවන්ද ඇතුළුව) තමන්ගේ කාර්ය භාරය මැනවින් තේරුම්ගෙන සිනමා කෘතියට විශිෂට සාධාරණයක් ඉටුකරයි. ඉන්දික ගේ වේදිකා නාට්‍යය බොහොමයකට රංගනයෙන් පණ පෙවූ අනුසයා සුබසිංහ තමන්ගේ කුළුඳුල් සිනමා රංගනය තුල මදක් අධිරංගනයක සිටින බව මට හැඟේ. ඇතැම්විට ඒ වේදිකාවෙන් ලද පන්නරය නිසාම විය හැකිය.

මගේ සිතුවිලි වල විදිහට බස් රථයේ ඩ්‍රයිවර් මහත්තයා ජයලත් මනොරත්නම (අමාරුවෙන් හරි) වූවා නම් අවසානය මීටවඩා ප්‍රායෝගික වන්නට තිබුනා යයි මට සිතේ.

මේ ඉන්දිකගේ පළමු නිර්මාණයයි. නමුත් එය සිංහල සිනමාවේ වැදගත් හැරවුම් ලක්ෂයකි. 

තොටවත්තයන්ගේ හඳයාත් ළමා චිත්‍රපටියක් නොවන බව විචාරයකයෙකු පුවත්පතකට පවසා තිබුනි. හෝගානා පොකුණද ළමා චිත්‍රපටියක් නොවේ යයි මමද විස්වාස කරමි. එය ළමයින් හරහා වැඩිහිටියන්ට ළමුන් ගැන කියාදෙන කතාවකි.

චිත්‍රපටියේ හැටියට ළමුන් අවසානයේදී මුහුද බලා සතුටින් විසිර ගියහ. චිත්‍රපටියට පසුදා මම රාජන් ස්කයිප් හරහා ඇමතුවෙමි. ඔහු තාමත් කත්මණ්ඩුවට වී සිටී.

හෝ ගානා පොකුණ ඇත්තටම දැනෙනවාද?


ඔව් එය මට හොදින් දැනේ...