Tuesday, December 29, 2009

ඔබ නැත අද මා ලගින්

හේමන්තයේ සැන්දෑවක

සැදෑ අහසේ තරු මැදින්

සිහිල් සුළං පිසගෙන

සුපුරුදු සුවදක්

ඇදෙන විට මා ලගින්

සිහිවෙයි කදුළු වූ

සොදුරු අතීතය

වස්සානයට පසුව එන

ගිම්හානය වසන්තයක් කල

ඔබ නැත අද මා ලගින්

සදුන් සිහිලක් සේ

Friday, December 11, 2009

හුදෙකලාවට ලංවීම

නිමිත්ත : චර්ම රෝගයකින් නිසා විරූප වී සමාජයෙන් ඉවත් වූ මවක් තම දියණියගේ විවාහය මංගල්‍යය ගැන සිතයි.


හිමිත් අහිමිව ගෙවුන කල් දැන

පුතුන් කර දඩු මහත් වු විට

කැදලි තනමින් පිටව ගොස් ඇත

හැරදමා මහ ගෙදර සෙවනත

තවත් පුතෙකුන් අසල නැත ඔහු‍

ගොසින් ඇත නොරටුන් හඹා

නිසිවයස් තම එලඹි කල්හි

දියණියද කුළ ගෙයට සැරසෙයි

පාළු ගෙයතුල දැනේ තනිමට

කිසිවෙකුත් නැත අස්වැසීමට

අහෝ! තනිකම හුදකලාබව

ළංවෙමින් ඇත අනාගතයට

Wednesday, November 25, 2009

පොදු පුරුෂයා

මේ ගමන සාහිත්‍යය මාසෙ හොදම කෘතිය ‍විදිහට තේරුණේ සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය ලියපු පොදු පුරුෂයා කියන පොත. මේ පොත සරසවි ප්‍රකාශනයක්. ( මේ පොත ගන්න ගිහින් වෙච්ච රසවත් සිදුවීම් මගේ දිනපොතේ සටහන් කරල ඇති) තිබ්බ ආසාව හින්දම මේ ගමන ගත්ත පොත් වලින් ඉස්සෙල්ලම කියෙව්වෙ ‍මේ පොත.

ඇත්තටම ඒ පොත හරිම ලස්සනයි. ඒක හන්දම මම දෙපාරක්ම පොත කියෙව්වා. පොත ඇතුලෙ ප්‍රබල කතාවක් වගේම ප්‍රබල ගලායාමකුත් තියනවා. මුළු කතාවම පෙළ ගැහෙන්නෙ අතිප්‍රබල චරිත තුනක් වෙන ෂාෂා, මනෝරම්‍යා සහ වර්ණාසි එක්කයි. ඊට අමතරව අත්තම්මා නැමති ප්‍රබල චරිතය නිශ්ශබ්දව කතාව තුල ගලායාමක් සිදුකෙරෙනවා.

කතාවෙ මූලික කොටස් තුනක් තියනවා. මට දැනිච්ච විදිහට කතාවෙ පළවෙනි කොටසෙදි සුදු කළු අතර මිශ්‍ර වෙච්ච චරිතයක් වෙන ෂාෂා දෙවනි කොටසෙදි මධ්‍යම විදිහට ඉදල තුන්වෙනි කොටසෙදි මරල දානවා. පළවෙනි කොටසෙදි කුඩම්මගේ සැළකිලි ලබපු මනෝරම්‍යා අවසානයේදී වීරවරියක් වෙනවා. නමුත් අනිත් ප්‍රධාන චරිතය වෙන වර්නාසි හැල හැප්පීම් ගොඩක් මැද්දෙ තමන්ගෙ චරිතය ගෙනිනවා.

කතාවෙ හැම තැනදිම ගැහැණියකගේ චිත්ත ධෛර්යය, ඉවසීම, ප්‍රශ්න වලට මුහුණ දීම ආදිය වගේම ශ්‍රී ලාංකේය කාන්තාගේ පවුල් පරිසරය මේ කතාවෙන් විග්‍රහ වෙනවා. තවමත් මම ස්වර්ණ පුස්තක වලට නිර්දේශිත පොත් කියවල ඉවර නෑ. ඒක හන්ද මේ හොදම ‍පොතද කියන්න තරම් ඉක්මන් වෙන්න හොද නෑ.



Monday, November 16, 2009

අසඩක් ජීවිත වෙදිකාවෙන් සමුගනියි


දශක ගණනාවක් තිස්සේ රසික ජනතාව අතර සිටි ජනතා කළාකරුවානන් හෙන්රි ජය‍සේන මහතා පසුගියදා අපෙන් සමුගත්තා. රූපවාහිනී නළුවෙකු, වේදිකා නළුවෙකු, චිත්‍රපටි නළුවෙකු, තිර රචකයෙකු මෙන්ම වෙදිකා නාට්‍යය රචකයෙකු ලෙස කීර්තියක් හිමිකරගෙන සිටි එතුමා වඩාත් රසිකයන් අතර ජනප්‍රිය වුයේ දූ දරුවෝ ටෙලිනාට්‍යයේ සුදු සීයා ලෙසින්.

ගම්පහ ලෝරන්සි විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විදුහලෙන් අධ‍්‍යාපනය හැදෑරු මෙතුමා නැසීගිය මානෙල් ජයසේන මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයායි.

ජනප්‍රිය හා අර්ථාන්විත නාට්‍යය වු හුණුවටයේ කතාව, කුවේනි, ජනේලය, තවත් උදෑසනක්, අහස් මාලිගා, අපට පුතේ මගක් නැතේ, දිරිය මව, මකරා, මනරංජන වැඩවර්ජන වැනි නාට්‍යයන් රචනා කලේද මෙතුමා විසිනි. ගම්පෙරලිය චිත්‍රපටයේ පියල්, හුණුවටයේ කතාවේ අසඩක්, දහසක් සිතුවිලි හි ලලිත්, දූ දරුවෝ හි සුදුසීයා මෙතුමාගේ රංගන කෞෂල්‍යය විදහා පෑ අවස්ථාවන්ය.

කලා ක්ෂේත්‍රයේ මෙතුමා නැති අඩුව සදාකල් දැනෙනු ඇත. හෙන්රි ජයසේන මහතානෙනි, ඔබට නිවන් සුව!

image : http://www.maneljayasena.org/manelj-006.jpg

Thursday, November 5, 2009

ගාමිණි හත්තොටුවේගම අභාවය


වීදි නාට්‍ය කලාවේ පියානන් දැන් දරුවන් හැරදා ගිහින්. ශ්‍රී ලාංකේය වීදි නාට්‍යය කලාවේ පුනුරුදයක් මෙන්ම පැවැත්මද සනිටුහන් කල ගාමිණි හත්තොටුවේගම මහතා පසුගියදා අප අතරින් වියොවුනා. 1974 වර්ෂයේදී වීදී නාට්‍ය කලාවේ ආරම්භය සනිටුහන් කල ගාමිණි හත්තොටුවේගම මහතා පසුව රජදැක්ම, මිනිසෙකුට එල්ලා මැරෙන්න බැරිද? විලාපය, බෝසත් දැක්ම, නොරුස්සන හඩ වැනි විශිෂ්ට නාට්‍ය විදි නාට්‍යය ලෙස ජාතියට දායාද කලේය. විවිධ ආරක් ගත් වීදි නාට්‍යය කණ්ඩායම් බිහිකිරීමද මෙතුමාගෙන් සිදුවූ විශේෂ කර්තව්‍යන්වේ.

දීපානි සිල්වා, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා වැනි ප්‍රතිභා පූර්ණ ශිල්පීන් බිහිවන්නේද ගාමිණි හත්තොටුවේගම මහතාට පින් සිදුවන්නටය. මීට අමතරව මෙතුමාගෙන් සිදුවූ වැදගත්ම දේ වන්නේ රගහලකට ගොස් නාට්‍යයක් නැරඹිමට වත්කමක් නැති මිනිසුන්හට පාරේ සිට එම රසඥතාවය ලබාදීමයි.

එතුමාට නිවන් සුව පතමු..


Friday, October 9, 2009

සෙනෙහස කියනට පෙම් කරනා සද

දෝරෙ ගලනා සෙනෙහස් ගගුලේ

සතපවන්නට සිතන මොහොතක

මහා මේඝය හමා ගෙනවිත්

විසුනු කරවයි සොදුරු සිතුවිලි

සිහින ලොවකදි එකළු වූ විට

දැනේ ඔබ හට පෙම් කරන බව

එබව දැනෙනා සෑම මොහොතක

ඇවැසි ඒ බව ඔබට කියනට

පෙරුම් පුරනා සෑම විටකම

නොලැබ මොහොතක් දවයි මා සිත

හැගුම් විදිනට නොපින් කල සද

දුකයි මා හට සදා කල්හිම