Thursday, October 17, 2013

අම්මා

උදේ පාන්දර නැගිටල උයල
තේ හදල
රෙදි හෝදල වනල
කෑමත් බෙදල
දවල් වෙනකං මාත් එක්ක
හරි හරියට වත්ත කොටල
බඩගිනියි කිව්වහම
අම්මා නොකා
මට අනල කවල
මම නිදාගෙන ඇහැරිලා
ආයෙත් බඩගිනියි කිව්වහම
මහ වැස්සෙ
වත්ත පහලට දුවල
චූං පාන් වෑන් එකෙන්
මාළු පාං අරන්
තව තේකකුත් හදලා
බොන්න කතා කරපු අම්මා
ඇහැව්වහම කිව්වෙ

සංසාරගත බැඳීම් කියල.

Monday, July 15, 2013

ඇස් දෙකෙන් කතා කිරීම

පොඩ්ඩක් එහාට වෙයන්කො
මොන මගුලක්ද බං
වැඩක් කරන්න දීපන්කො
කරන වැඩක් පොඩ්ඩක් එහාට වෙලා කරපන්කෝ
ඇයි?
අපි ඇස්වලින් කතා කරනවා
මොකක්?
දැන් ටික කාලයක් වෙනවා
අපි ඇස්වලින් කතා කරනවා
හ්ම්
.....
මොනවද බං උඹලා ඇස්වලින් කතා කරන්නෙ
බඩු මිල ගැනද?
උද්ධමනය ගැනද?
එහෙම නැත්තං....
නවත්තගනිං උඹේ කට
ඇස්වලින් කතා කරන්නෙ
ආදරේ
බම්බුව
ආදරෙන් බඩ පිරෙනවද
උඹට ඕවා තේරෙන්නෙ නෑ
ඇත්තටම
ආදරේ සුන්දරයි
බඩගින්න තරම්
උද්ධමනය තරම්

බඩුමිල තරම්

Sunday, June 16, 2013

කෙටි ප්‍රශ්න පත්තරේ‍ට කණා නොගහ උත්තර ලියමු



විභාග. තවත් ඔළුව කැක්කුම හැදෙන මාතෘකාවක්. එලිවෙනකං නිදිමරාගෙන පාඩම් කරල ලියන්න ගියහම මුකුත් මතක නැතිවෙන එක විභාගවල ලක්ෂණයක් කියල විභාග ලියන හුඟදෙනෙක් දන්නවා. ‍විභාගෙත් කෙටි ප්‍රශ්න පත්තරේ කියන්නෙ කෙටි කාලෙකින් මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන විදිහට ප්‍රශ්න හදල උත්තරත් දීල හරි උත්තරේ අහන දරුණු ඛේදවාචකයක්. හුඟක් දෙනෙක් මේකෙ නොදන්න ඒවට කරන්නෙ ටක් ටික් ටුක් කියල කණා ගහන එක. හැබැයි මේ කණා ගහන එකත් කලාවක්. එහෙම නැත්තම් ආර්ට් එකකට කරන්න පුළුවන්. නිකන් කණාගහල හරියනවට වඩා වැඩි ප්‍රතිශතයක් මේකෙන් හරියනවා. මේ ආර්ට් එක හරියන්නෙ පහත කොන්දේසි එක්ක විතරයි.
  • ප්‍රශ්න පත්‍රය බහුවරණ විය යුතුයි.
  • ප්‍රශ්න පත්‍රය සම්මත  විභාග රීති වලට අනුකූල විය යුතුයි. (ඒ කිව්වෙ තියෙන්න පුළුවන් එක උත්තරයක් විතරයි ව‍ගේ ඒවා)
  • භාෂාව මොකක් වුනත් කමක් නෑ.

දැන් බලමු උත්තර තෝරගන්නෙ කොහොමද කියල.
  • කිසියම් විස්තරාත්මක ප්‍රශ්නයකට ඇත්තේ විස්තරාත්මක පිළිතුරක් නම් පිළිතුර බොහෝවිට දිගම පිළිතුර වේ. මේකට හේතුව වෙන්නෙ කිසියම් දෙයක් අපිට හොදටම විස්තර කරන්න පුළුවන් දීර්ඝ රචනාවකින් වීම. හොදම උදාහරණය තමයි සන්දේශ කාව්‍යය. අවස්ථාව පොඩි දෙයක් වුනත් ඒක දීර්ඝව විස්තර කරනවා. මෙය මෙසේ වන්නේ මේ නිසාය කියල කෙටියෙන් උත්තර දෙන්නත් පුළුවන්. ඒත් ඒක දිග ආකාරයට විස්තර කරන එක ඊට වඩා හුගක් වෙලාවට සිද්ධ වෙනවා.
  •  ප්‍රශ්නය අහල මෙයින් සත්‍යයවන්නේ කුමක්ද කියල අහනකොටත් හුගක් වෙලාවට පිළිතුර වෙන්නෙ දිගම උත්තරේ. හේතුව වෙන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න අපිට අමතර විස්තරයක් ඕනෙ වෙන නිසා.
  • කිසියම් ප්‍රශ්නයක් ඉවරවන්නේ "හැර"Except යන්නෙන් හෝ අසත්‍යයවන්නේ කුමන පිළිතුරද කියා විමසූ විටද බොහෝවිට පිළිතුර වන්නේ දිගම පිළිතුරයි. ඒ මන්ද යත් බොරුවක් පැවසීමටද සාමාන්‍යය වචන ප්‍රමාණයට වඩා වැඩි වචන ප්‍රමාණයක් අවශ්‍යයවන නිසාය.
  • සවිස්තරාත්මක ප්‍රශ්නයකදී බොහෝවිට පළමු පිළිතුර නිවැරදි පිළිතුර වේ. මෙයට හේතුවන්නේ දීර්ඝ ප්‍රශ්නයක් කියවා අවසනදී අපේක්ෂකයා තවත් වෙහෙස කිරීම නැවැත්වීමට පළමු පිළිතුර නිවැරදි පිළිතුර බවට පත්කරයි.
  • ප්‍රශ්නයක පිළිතුර එකම අගයක + හෝ - අගයන් වේ නම් පිළිතුර බොහෝවිට ඒ දෙකෙන් එකක් වේ. උදාහරණයක් ලෙස කිසියම් පැණයක පිළිතුරු 4 පහත සදහන් ලෙස ගනිමු.

  • A.      2
  • B.      -5
  • C.      3
  • D.      5

  බොහෝවිට පිළිතුර වන්නේ +5 හෝ -5ය
  • ප්‍රශ්නය පුරාවට දත්ත සපයා ඇත්නම් ඒ දත්ත මගින් වැරදි පිළිතුරු හෝ නොගැලපෙන පිළිතුරු ඉවත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි පිළිතුරට මග පෙන්වයි. මේ සඳහා මූලික දැනුමක් අවශ්‍යය වේ.
  • කිසියම් ප්‍රශ්න පත්‍රයක එක ප්‍රශ්නයක් සඳහා වරණ 4ක් ඇතැයි සිතමු. පිළිතුරක් සසම්භාවී ලෙස ගතහොත් පිළිතුරක් නිවැරදි වීමේ සම්භාවිතාව 25%කි. එනම් ප්‍රශ්න 100ක් ඇති ප්‍රශ්න පත්‍රයක සියළුම පිළිතුරු සඳහා පළමු වරණය තෝරා ගතහොත් මුළු ප්‍රශ්න පත්‍රයේ ලකුණු සම්භාවිතාවය 25%කි.

මේ බොහෝ තරඟ විභාගවලදී පිළිතුරු සොයාගත හැකි රීතීන්ය. මේවා රීති බැවින් කිසිවක් නිවැරදි නොවිය හැකිය. නමුත් බොහෝවිට 60% ක් පමණ දුරට මේවා සත්‍යයවේ.


විභාගයකදී කණා නොගසා පාඩම් කිරීම යෙහෙකි. නමුත් කණා ගැසීමට සිදුවේ නම් මේ දේවලුත් සිහියේ තබාගන්න.  ඔබ‍ට ජය!

Tuesday, April 16, 2013

අවුරුද්දක් කල අරුමය



අවුරුද්ද දවසෙත්
අවුරුද්දට පස්සෙ දවසෙත්
මූණු පොත පුරා
ගෙදර ගිය විස්තර
ගමේ ගිය විස්තර
සිනාවෙන් පිරි
දෙමාපිය මුහුණු
සොම්නසින් පිරුණු 
දරුවන්ගේ මුහුණු
ඇකි යන්තම්
අවුරුද්දකට පාරක් හරි
දෙගොඩතලා ගිය සතුට
අනේ ඇත්තට
අවුරුද්දක් කල අරුමය
ඒත්
හැමදාම නත්තල් නෑ
හැමදාම අවුරුදුත් නෑ

Tuesday, January 29, 2013

වෙලඳ දැන්වීමක අසිරිය


මීටත් කලින් වෙළඳ දැන්වීම් ගැන කතා කලෙමි. ඒ වෙළඳ දැන්වීම් ද කලාවක් වන බැවිනි. දැන් කතා කරන්න යන්නේද වෙළඳ දැන්වීමක් ගැනය. කාලයෙන් කාලයට වෙළඳ ප්‍රචාරණ විධි වෙනස් වෙයි. දැන් ඇති අළුත්ම ප්‍රචාරන විදිහ වන්නේ ඊ මේල් මාකටින්ය. මේ ඊමේලයක් හරහා මට ලැබුණු එවන් දැන්වීමකි. භාවිතා කරන මොනිටරයේ විභේදනය (සිංහලෙන් රෙසලුෂන්) එකත් එක්ක මට ඉස්සෙලාම පෙනුනෙ මේ කොටස.


අම්මාගේ සෙනෙහස මිල කල නොහැකි වුවත් මේ දැන්වීමට අනුව එය දැන් “සේල්” දමා තිබේ. පසුව එම පෙනෙන විභේදනයෙන්ම මදක් පහලට ගත්විට තවත් අළුත් යමක් නෙත ගැටුන.

කුඩා දරුවෙකු 20%ක් අඩුවෙන් ලැබේ. තුන් දෙනෙක් ලැබෙන්නේ දෙදෙනෙකුගේ මිලටය.
මේ කියන හරුපයේ තේරෙන ටික තිබුනේ පහලම කොටසේය. මේ බ්ලොග් එක වෙළඳ ප්‍රචාරන මාධ්‍යක් නොවන නිසා ඒ ටික මම පළ කරන්නේ නැත.

වෙළඳ දැන්වීමක් වූ කලී කලාවකි. එයට ජනයා ඇද බැඳ තබාගත හැකිවිය යුතුය. ඇස ගැටෙනා පළමු අවස්ථාවේම විකුනන භාන්ඩය ගැන අවබෝධයක් සහ ආසාවක් පාරිභෝගිකයා තුල ඇතිවිය යුතුය. දැන්වීම් නිර්මාණය කරන්නෝ මේ පිළිබඳව මීට වඩා උනන්දු විය යුතුය. මේ තවත් එක් උදාහරණයක් පමණි.