Wednesday, November 3, 2010

වැහැපන් මල් වරුසාවේ - ප්‍රේමය - විරහව - වැස්ස සහ කුඩය

 
ප්‍රේමය හරිම සුනදර අත්දැකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙද? හැබැයි ප්‍රේමයම තවත් අයට බොහොම අසුන්දර අත්දැකීමක් වෙනවා. අවස්ථාව මත රදා පවතින දෙයකට හොදම උදාහරණයක් තමයි ඒක.

වැස්ස. ප්‍රේමයේ චමත්කාර බව වැඩි කරන අහිංසක අවස්ථාවක්. බොහොම පෙම්වතුන් වැසිකාලෙ පුංචි කුඩයක් පාවිච්චි කරන්නෙ ප්‍රේමයේ ඒ මිහිර විදගන්නයි. (කාලයක් මමත් එහෙම පාවිච්චි කලා). දෙන්නෙකුට තියා එක්කෙනෙකුටවත් යන්න බැරි පුංචි කුඩේක මල් වැස්සක නොතෙමි යන්න තියනවනම් ඒ මිහිර ගැන කවර කතාද? ඒවා දන්නෝ දනිති. එහෙම නේද?

ප්‍රේමය නිසා බොහෝවිට ඇතිවෙන්නෙ විරහවක්, දුකක්.  ප්‍රේමයෙන් විරහවකට පත්වෙච්ච කෙනෙකුට ඉතුරු වෙන්නෙ ප්‍රේමයේ මෙවැනි සුන්දර මතක විතරයි.

ඉතින් පෙම්වතුන් ලග නිතර ගැවසෙන දේවල් තමයි ප්‍රේමය - විරහව - වැස්ස සහ කුඩය. ඔය මාතෘකා හතරම ගොනුකරල ලියවෙච්ච සුන්දර ගීත කිහිපයක් ගැන තමයි මම කියන්න යන්නෙ.

පළවෙනි ගීතය නම් මම සෑහෙන කාලයක් තිස්සෙ හෙව්වා. මෑතකදි තමයි හම්බවුනේ. මුලින් මම හිතාගෙන හිටියෙ මේ ගීතය ගායනා කරන්නෙ ශාලිත අබේවික්‍රම මහත්තය කියල. පස්සෙ බලන කොට තමයි දැනගත්තෙ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදක සුමිත් ප්‍රියංකර මේ ගීතය ගායනා කරනවා කියල. ලිව්වෙ කවුද සංගීතය කාගෙද කියල නම් හොයා ගන්න බැරිවුනා.

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....

පාලු මාවතේ පොද වැස්සේ... එක කුඩයේ යට යන ගමනේ
නුඹේ උණුසුමයි මට දැනුනේ...කිසිදා නෑ අමතක වන්නේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

පාලු මාවතම මුතු පලසකි මට... බොරදිය මාවතේ ගලන තුරා
සෙවන දැනේවී සිටු මැදුරක සේ... මුතු කුඩයේ යට සිටින තුරා
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ

මල් මල් මල් වරුසාවේ... දේදුන්නේ පායාපන්නේ
එක එක සැලෙනා වැසි බිඳුවේ... තනිවී ඉන්නට එක කුඩයේ
වැහැපන් මල් වරුසාවේ...වැහැපන් මල් මල් වරුසාවේ.....///


විරහව සහ කුඩය කිව්ව ගමන්ම අපිට මතක් වෙන කුඩයක් තියනවා. ඒ රෝහන වීරසිංහයන් ගායනා කරන මුතුකුඩය. මේ ගීතය නම් ලියල තියෙන්නෙ ලූෂන් බුලත්සිංහල මහත්තයා. සංගීතය සපයල තියෙන්නෙ පුණ්‍යසිරි මහවත්තයන්.

ඉතින් මේ යොමුවෙන් ගීතය ලබාගන්න.

මුතුකුඩ ඉහලන මල්වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේනි
එබී බලා.... රිය කවුළු තුලින්
යටගිය දවසේ....
දෑස ගියා ඉගිලී

අදුරු ලලා... සෙංකඩ ගල වැස්සේ
දිය දහරා... පාටයි දේදුන්නේ
තෙමී තෙමී.... ආදර මධුවැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංසලේ

රිය ඇතුලේ ... උණුසුම ඔබට දිදී
නහවයි මා... රිය සක මඩ වතුරේ
නැහැ සිත රිදුනේ... අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රිය සක දන්නේ

මේ ගීත දෙකෙන්ම ලැබෙන හැගීම හරිම උණුසුම්, ලස්සන විරහවක්.
මේ ගීත දෙක ලියවිච්ච අතර කාලයකදී (2002 – 2005) වගේ කාලෙකදී  ක්‍රිෂාන්ත එරන්දකත් ප්‍රේමය විරහව වැස්ස සමග කුඩය ඇතුලත් ගීතයක් ගායනා කලා. වෙනසකට තියෙන්නෙ මේ ගීත දෙකටම වඩා එහා ගිය අහිංසක ආසාවල් මේ ගීතයේ රසවත් ලෙස දක්වලා තිබීමයි.

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් //

තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා ///

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා///

මේ වගේ ප්‍රේමය - කුඩය - වැස්ස - විරහව අඩංගු ගීත බොහොමයක් සිංහල ගීත සාහිත්‍යයයේ ලියවිලා තියනවා. පුළුවන්නම් මේ ගීත බාගෙන රස විදින්න. අවස්ථාවක් ලැබුණොත් ප්‍රේමය තුල ගිලිලා මේ සුන්දර අවස්ථාව රස විදින්න. මොකද බැන්දට පස්සෙ ඔය දේ ටිකක් වෙනස් වෙනවා මේ විදිහට. මේ ගීතය ගායනා කරන්නෙ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය. ගීතය ලියල තියෙන්නෙ සීතා රංජනී විසින්. සංගීතවත් කරල තියෙන්නෙ රෝහන වීරසිංහයන් විසින්

මේ යොමුවෙන් ගීතය ලබාගන්න

මේ වහින්නේ - එදා මල් වරුසාවමයි
මහළු නොවනා පෙම්වතුන්ගේ
සොදුරු මල් වරුසාවමයි
එදා මල් වරුසාවමයි

ජීවිතේ දෝතින් දරා අපි
එදා පෙම්බස් මිමිනුවේ
සිරිපොදේ සීතලෙන් අවදිව
ජීවිතේමයි හිනැහුනේ

එදා මල්වරුසාමයි මේ
මුවාවක් ඇයි සොයන්නේ
එක වහල යට එකතුවුදා
එක කුඩේ ඇයි මදිවුනේ

Friday, October 29, 2010

ඡායාරූප ප්‍රදර්ශණයක්...

ශ්‍රී ලංකා ඡායාරූප සංගමයේ වාර්ෂික ඡායාරූප දැක්ම 55 වෙනි වරටත් පැවැත්වේ. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ අගනා ඡායාරූප එකතුවක් මෙහිදි ප්‍රදර්ශණය කිරීම‍ට නියමිතයි. ප්‍රදර්ශණය රුසියානු තානාපති වැලමිදර් මිකාහයලොව් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.

දිනය - 2010 ඔක්තෝම්බර් මස 30 සහ 31 දෙදින්
වේලාව - උදෑසන 10.00 සිට සවස 7.00
ස්ථානය - ලයනල් වෙන්ටඩ් රගහල, කොළඹ 07

Thursday, September 16, 2010

කැළණියේ පෙම්වතුන්

කැලණි විහාරයේ
දහසක් සුපෙම්වතුන් මැද
දුටිමි ඔබේ සුපිරිසිදු වත
නංගියේ මල්ලියේ
පන්සලේ අනුරාගිණි සිතින්
නොපහන් සිතුවිලි මෝදුවූ
කුරුළු ‍ජෝඩු තුරුළුව වෙසෙනා සද
දුටිමි ඔබ දෙපළ එක්ව පැහැදී
බුදුන් පුදනා සීරුව

Monday, August 16, 2010

සියුමැලිද මේතරම් කළුගල්

කළුගලක් ඇත්තටම සියුමැලිද? කළුගල් කොතරම් දැඩි වුවත් එය වෙඩෙරු පිඩකින් මෙන් නිමවු සේ පෙනෙන සමාධි පිලිමය අවුකන පිළිමය ඉසුරුමුණි පෙම් යුවල වැනි අනගිභවනීය නිර්මාණ හෙළ කලාකරුවාගේ දක්ෂතාවය මොනවට කියාපායි.

ඒ සුවිසල් අවුකණ පිළිමය නිමවූ කලාකරුවා කෙබන්දෙකු විය හැකිද? ඔහු හමුවීමට ගිය අයෙකු සමග පිලිසදරක් ඇතුලත් රමණිය ගීතයක් සුනිල් එදිරිසිංහයන් ගායනා කරනවා.

මේ තරම් සියුමැලිද කළුගල්

සිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත්

දෑස් දුන් මිනිසා සොයා



කලා වැව ලග ඉළුක් හෙවනක

මැටි පිළක පැදුරක් එලා

රිදුම් පිරිමදිමින් බලයි ඔහු

මැරෙන ඉපදෙන රළ දිහා



ඉසුරුමුණියේ නුඔ තැනූ

පෙම්බරිය  කොතැනද කියා

මා ඇසූ විට හිනැහුනා ඔහු

තවම තනිකඩ යයි කියා

මේ ගීතය මුලින්ම අහන්න හම්බවුනේ අහමිබෙන්. ඒත් පුදුම විදිහට මගේ හිත බැදගත්ත ගීතයක් වුනා. මේ ගීතයෙ අයිතිකාරයො වෙන්නෙ රජී වෙල්ගම සහ දර්ශණ රුවන්. ගීතය අති සුන්දර වෙන්නෙ සුනිල් එදීරිසිංහයන්ගෙ අති මෝහනීය හඩත් එක්ක. ඔබත් ගීතය මෙතනින් ලබාගන්න.


Friday, July 23, 2010

දෙබිඩ්ඩෝ


සෑහෙන කාලෙකට පස්සෙ වේදිකා නාට්‍යයක් බැලුවා ගිය සති අන්තයෙ. මං හිතන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉස්සර නම් ඉතින් මාසෙකට එකක් වරදින්නෙ නෑ. ඒකට දැන්. බැලුවෙ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු දෙබිඩ්ඩෝ වේදිකා නාට්‍යය. හාසය්‍යෝත්පාදක නාට්‍යක්. ඇත්තටම හිනාවට වඩා ‍අපේ සමාජයේ නිතරම දකින පැතිකඩකුත් එයින් නිරූපනය වෙනවා.
“ මගේ සල්ලියි ආණ්ඩුව...
ආණ්ඩුව ආරක්ෂා කරන්න මාව බිලිදෙන්නෙ කොහොමද?....
මමනෙ ආණ්ඩුව......”
ජයලත් මනෝරත්නයන්ගෙ ඒ දෙබස නාට්‍යයෙ හරය ගැන ගොඩක් දේවල් කියා පානවා.
1991 වර්ෂයෙ ද්විත්ව නමින් වේදිකා ගතවෙච්ච නාට්‍යය තමයි අද දෙබිඩ්ඩෝ කියල නැවත ප්‍රතිනිර්මානය වෙන්නෙ.  මේ නාට්‍යයෙ ජයලත් මනෝරත්නයන් ද්විත්ව චරිත නිරූපනයක බොහොම අපූරුවට යෙදෙනවා. ජයනි සේනානායක, දමයන්ති ෆොන්සේකා, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ප්‍රසාද් සූරියාරච්චි ආදී සොදුරු නළු නිලියන් රගපානවා.
මේ නාට්‍යය පරිවර්තනයක්. ඉතාලි ජාතික දාරියෝ ෆෝ ගේ Trumpets & Raspberries කියන නාට්‍යය තමයි දෙබිඩ්ඩෝ කියන්නෙ.
ඉතින් ඔබේ නග‍රයේත් දර්ශණයක් තියනවනම් නොවරදවාම නරඹන්න.

ඡායාරූපය ලබාගත්තේ දෙ‍බිඩ්ඩෝ මුහුණුපොතේ සමාජයෙනි

Monday, May 31, 2010

ඉවාන් පවුලූෂා



මීට අවුරුදු 10 -15 කට කලින් ජාතික රූපවාහිනිය ඉදිරිපත් කරපු ප්‍රාසාංගික වැඩසටහනක් තිබුනා “යාත්‍රා“ කියල. ඒ කාලෙ මම පොඩි එකෙක් වුනත් ඒ ප්‍රාසාංගික බව විදගන්න තරම් හොද මානසිකත්වයක් තිබුනා. ඒ කාලෙ ජාතික රූපවාහිනියෙ තිබුණෙම බලන්න පුළුවන් විදින්න පුළුවන් වැඩසටහන්. නදුන් උයන, නවයයි පහ, කදමල්ල වගේ වගේම මනෝහාරි වගේ සංගීත වැඩසටහනුත් ඒ අතර තිබුනා. මේ සින්දුවත් යාත්‍රා වැඩසටහනේ තිබුණ එකක්. නම ඉවාන් පවුලූෂා. කොළඹ විශ්ව විද්‍යාලයේ සහෝදර සහෝදරියන් ඒ දවස් වල කරපු සෞන්දර්යාත්මක වැඩක්. කෙලින්ම රුසියාව මුල් කරගෙන ලියවෙච්ච ගීතයක් තමයි මේක. ගායනා කරන්නේ අප්සරා ද සිල්වා. ගී පද ලියල තියෙන්නෙ චාරුක සුරවීර සහෝදරයා. පොඩිකාලෙ ඉදන් ආස රුසියානු පත පොත හන්ද බොහොම ආසාවෙන් රස විදින්න පුළුවන්. වැඩ බැරිදාස, අම්මා, දොන් පෙදෙසේ කතා වගේම ලස්සන වසීලිස්සා වගේ පොත් කියවනකොට මැවෙන රුසියාවෙ දර්ශණ මේ ගිතයේ පසුබිමෙන් දැනෙනවා. රූප රචනයත් සෑහෙන්න ඉහල මට්ටමක තියනවා. දැන් ඉන්න රූපවාහිනියෙ පාලකයො වැල යන අතට මැස්ස ගහන්නෙ නැතුව මේවගේ දේවල් බලල ඒකාලෙ තිබුණ ගුණාත්මකභාවය වර්ධනය කරගත්තනම් හොදයි මට හිතෙන්නෙ.

Monday, April 26, 2010

පෙම් බැදි මිතුරිය

ලද ඇසිල්ලකදී
ගියෙමි හද බැදි
මිතුරියගේ නිවසට
වසර කිහිපයකට පසු.
කුඩා දියණිය සිඹිමින්
ගයයි ගී ඈ,
තොමෝ නළවනු රිසින්
එකල මා හද බැන්ද
සිහිනෙනුත් සිනාසුණු
පෙර දිනක පෙම්බැන්ද
ඇගේ මුව වත කමල
යන්තමින් සිනාසී
පිළිගැණුනි පෙර ලෙසම
ගෙවීගිය අතීතය
මෙනෙහි කර දුක්වෙමින්
සිතමි මම, වෙර ගනිමි
තනිවෙන්න පෙර ලෙසම

ඡායාරූපය ලබාගත්තේ මෙම යොමුවෙනි.

Wednesday, March 31, 2010

අනාත මාරුතේ

අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ, ඔබයි ආදරේ

සිත රිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර තරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ, ඔබයි ආදරේ

අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ, ඔබයි ආදරේ

මේ ගීතය කවුරුත් අහල ඇති. හැමෝම නැතිවුනත් හුගක් අය විදල ඇති. ගීතය ගායනා කරන්නෙ රූකාන්ත ගුණතිලක. ඒත් මෙච්චර ලස්සන මේ ගීතය ලිව්වෙ කවුද කියල දැනගන්න මට හිතුනා. ඉතින් ගූගල් එක පීරගෙන හෙව්වා. සිංහල ලිරික්ස් එකෙත් බැළුවා. ඒත් කොහෙවත් තිබ්බෙ නෑ. සින්දු ගැන දන්න කියන කීප දෙනෙක්ගෙනුත් ඇහැව්වා. ඒ අයත් ගායකයා ඇරෙන්න වෙන විස්තර මුකුත් දැන ගෙන හිටියෙ නෑ. මාත් උත්සාහය අතහැරියේ නෑ. අන්තිමට මේ සින්දුව තියෙන්නෙ රූ සද රෑ කියන ඇල්බම් එකේ කියල හොයාගත්තා. ඉතින් ඒකෙ ඇල්බම් කවරයක් හොයන්න අන්තර්ජාලෙ පුරාම ගියත් හොයාගන්න බැරිවුනා. පස්සෙ හෙමින් සැරේ ටොරානා එකට රිංගල අමාරුවෙන් කවරයක් බලල මට ඕන කරන දේ හොයාගත්තා. මේ සින්දුව ලියල තියෙන්නෙත් සංගීතය සපයල තියෙන්නෙත් රූකාන්තම තමයි. රූකාන්ත ගුණතිලක කියන්නෙ කොච්චර දක්ෂයෙක්ද කියල ඒකෙන්ම පේනවා. මේ සින්දුව හදල සෑහෙන කාලයක් ගියත් සින්දුවේ ජනප්‍රියතාවය තාමත් ඉස්සර වගේම රැදිල තියනවා.

මම ඉස්ඉස්සෙල්ලම මේ සින්දුව අහපු දවසෙ මගෙ හිතට අමුතු හැගීමක් ආවා. ආයි ඒක ගැන දරුණු හැගීමක් ආවෙ ගෑනු ලමයත් එක්ක පොඩ්ඩක් කෑගහ ගත්ත වෙලාවෙ. එදා හවස නම් මේ සින්දුව සෑහෙන්න වැදුනා. ඊට පස්සෙත් පොඩි පොඩි ගැටළු ආපු තැන් වලදිත් ඔය සින්දුව අහල හිත සැහැල්ලු කරගන්නවා. (අදටත් එහෙමයි). ඊට පස්සෙ ඕක ආයි හොදටම ඇගට දැනුනෙ ගෑණු ළමයව කසාද බැදල ගෙදර එක්කගෙන ආපු දවසෙ හවස තිබ්බ සාදයෙදි කට්ටියගෙ ඉල්ලීමට සිංදුවක් කියන්න කියපු වෙලාවෙ මම කිව්වෙ ඔය සින්දුව. ඇග ඇතුලෙ තියන සින්දුවක් එලියට එනකොට ඒක බොහොම සුන්දර විදිහට එනවා. මම ඒ සින්දුව කියනවා අහන් හිටපු මගෙ අම්මත් ඒ දේ කිව්වා. මේ සින්දුවෙ අන්ප්ලග්ඩ් වර්ශන් (unplugged version) එකක් අහන්න හම්බවුනා මේරියන්ස්ලගෙ සජීවී ප්‍රසංගයකදී. (කොහොමත් මම අන්ප්ලග්ඩ් මරුවා). මේ බ්ලොග් සටහනට හේතු පාදක වෙන්නෙ ඒ ප්‍රසංගයෙන් දැක්ක සින්දුවයි. රූකාන්ත ඒ සින්දුව චන්ද්‍රලේඛා වෙනුවෙන් ගැයුවත්ඒ ගීතය ඔබේ මගේ නොව සෑම බිරිදකටම, පෙම්වතියකටමත් අදාලයි.

සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ, ඔබයි ආදරේ

Wednesday, March 10, 2010

ගහ සහ මම


තල් අර‍ඹේ
තනියට මගෙ
මේ මහ ගහ විතරයි
කරදිය මුසු
වියලි සුළග
ජීවිතයට පුරුදුයි
සදා පැතූ
සොදුරු සිහින
වෙඩි සද්දෙට ඉවරයි
තල් සෙවනේ
කිසිවෙකු නැත
මමයි ගහයි පමණයි

Tuesday, February 23, 2010

ඡායාරූප ප්‍රදර්ශණයක් දුටිමි


මම ඡායාරූප කරණය ගැන දන්නා ප්‍රමානය ඉතාම සීමිතය. නමුත් ඒ ගැන ඉතාම ප්‍රියතාවයක් දක්වන්නෙක් වෙමි. වසර ගණනාවක් තිස්සේ ඒ ගැන නොදන්නා නමුත් පසුගිය වකවානුවේ ඒ පිළිබද විශේෂ උනන්දුවක් දැක්වුයෙමි. ඡායාරූපකරණයේ තවත් එක් වෙනස් සීමාවක් වන්නේ මංගල ඡායාරූප කරණයයි. එවැනි පැවති මංගල ඡායාරූප ප්‍රදර්ශනයකයට පසුගියදා මම සහභාගී වුයෙමි. ප්‍රදර්ශණය පැවැත්වුයේ මහනුවර වුවද කොළඹ සිට නුවර යාමට තරම් ඒ ප්‍රදර්ශණය මට වැදගත් විය.

ඔහු නමින් රසාංග දිසානායක නම්විය. මංගල ඡායාරූප පිළිබද කල ගවේශණයකදී ඔහුගේ වෙබ් අඩවිය මගේ නෙත ගැටුනේ අහම්බෙනි. එකෙනෙහිම එම අඩවිය මුළුමනින්ම නැරඹුවෙමි. ඡායාරූප ප්‍රදර්ශණය පිළිබද තොරතුරු දැනගැනීමට මට ලැබුනේ එයට ගොඩවැදුනු නිසාමය. දුටු ඡායාරූප වලින් මා වශීවුයෙමි. ඇත්තටම රසාංග යනු මම දැනට ජීවිතයේ දුටු හොදම එලිමහන් ඡායාරූප ශිල්පියාය( Best Outdoor Photographer). එළිමහන් ඡායාරූප ගැනීමේදී ඔහු පෙන්වා ඇති දක්ෂතාවය ඉමහත්ය.

ඇත්තෙන්ම ඔහු ඡායාරූප ශීල්පියෙකු නොව කලාකරුවෙකි. ඔහුගේ ඡායාරූප තුලින් මා අළුත් කළාවක් අත්වින්දෙමි.

කොළඹ සිට මහනුවරට ගිය ගමනේ වෙහෙස ප්‍රදර්ශණය නරඹා නැතිකරගතිමි. ගතේ වෙහෙස නොව සිතේ වෙහෙසද නිවාගැනීමට ඒ ඡායරූ උපකාරිවෙයි.

මෙහි සදහන් සියළු ඡායාරූප ඔහුගේ වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා බව කරුණාවෙන් සළකන්න

Saturday, February 13, 2010

මියෙන මිතුදම

සරසවියෙ සිට බැන්ද
නිසංසල සොයුරු දම
පෙම නිසා, පසු බැන්ද
දියවෙමින් වියැකෙමින් තියනවා
තනිකරම මගෙ වෙන්න
කියා ඇය පතන විට
එකට සිටි සොයුරනුත්
ළගම සිටි මිතුරනුත්
ඔබ ඉවත්කර හොරෙන්
සදාකල් තනිවෙන්න හදනවා

Sunday, February 7, 2010

සමුදුරේ සටන

පොතක් ගැන ලියන්න හිතුවත් මේ පොත ගැන ලියන්න මට මුලින් හිතුනෙ නෑ. නමුත් කියවලා ඉවර වුන හන්දා ඒ ගැන ලියන්න හිතුනා. පොතේ නම සමුදුරේ සටන සහ අනෙකුත් ෂර්ලොක් හෝමස් කතා. ලියල තියෙන්නෙ චන්දන මෙන්ඩිස් මහත්තයා.

අනෙකුත් ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම කියවපු මට මේ පොතත් ඒ වගේම වෙන්න ඇති කියලා හිතුනා. මොකද මේකෙ අඩංගුවෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ගෙ රහසිගත ලිපිගොනු කියලයි තියෙන්නෙ. එකිනෙකට වෙනස් කතා 6ක් තිබුනත් අනෙක් ෂර්ලොක් හෝම්ස් කතාවල තිබ්බ ජීවගුණය, කුතුහළය, ත්‍රාසය, රසවත් බව කියන කිසිම කරුණක් මේ කතාවල අඩංගු නෑ. සර් ආතර් කොනන් ඩොයිල් ලියපු කතාවක් කියල යන්තමින්වත් හිතන්න බැරි විදිහට තමයි මේවා ලියැවිලා තියෙන්නෙ.

කතාවක මුල පිටු දෙක තුන කියවන කොටම අපරාධකාරයා කවුද? අපරාධය සිද්ධවුනේ කොහොමද? කියල පාඨකයට හිතාගන්න පුළුවන්. මට දැනෙන විදිහට මේවා පසුකාලීනව ෂර්ලොක් හෝම්ස් සාහිත්‍යයට එකතුවුන ඒවා වෙන්න පුළුවන්.

කොහොම නමුත් අවසන් වශයෙන් මට කියන්න තියෙන්නෙ මේ පොත මගෙ හිත් නොගත් බවයි.