Showing posts with label වේදිකා නාට්‍යය. Show all posts
Showing posts with label වේදිකා නාට්‍යය. Show all posts

Tuesday, May 15, 2012

වේදිකා නාට්‍යය පෙරහැර

ආයෙත් ලංකාවෙ මිනිස්සු වේදිකා නාට්‍යය පැත්තට බරවෙලා. රසාස්වාදය ගැන හිතන්න පටන් අරන්. අළුත් පැරණි වේදිකා නාට්‍යය අළුත් ආරකින් දැන් පෙන්වනවා. මැයි මාසෙ පුරාම ලංකාවෙ හුගක් තැන්වල (විශේෂයෙන් කොළඹ අවට) නාට්‍යය දර්ශන තියනවා. පසුගිය සුමානේ ධනුෂ්කා නයන කුමාරිගෙ ජනේලයෙන් පනින්නද මරදාන ටවර් එකේ තිබ්බා. පහුවෙච්ච ඒවා දැන් වැඩක් නෑනෙ. ඉතින් ඉස්සරහට තියෙන ඒවා ටිකක් කියන්නම්. හුඟක් ඒවා නම් කොළඹ අවට තියෙන්නෙ. අනිත් පළාත් ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ. ඒකට මට සමාවෙන්න. නාට්‍යය රසවතුන් හැමටම ආරාධනා.

  • මැයි මාසෙ 15 (ඒ කියන්නෙ අද) ප්‍රියන්ත සිරිකුමාරගෙ බර්නාඩාගේ සපිරිගෙය සවස 7ට ලයනල් වෙන්ටඩ් ශාලාවෙ තියනවා. (ටිකට් 1000/-, 500/-, 300/-,200/- කියල තමයි ආරංචිය. පොඩ්ඩක් හොයල බලන්න)

  • මැයි මාසෙ 18 සිකුරාදා දොළහක් වේදිකා නාට්‍යය තියනවා හොරණ ශ්‍රීපාලී විද්‍යාලයිය ශාලාවෙ. මේ නාට්‍යයම 21 වෙනිදා පේරාදෙනිය සරසවියෙ තියෙනවා.

  • විජිත බණ්ඩාරගෙ වාදකයා වහලෙ උඩ වේදිකා නාට්‍යය තියනවා මැයි 19 සෙනසුරාදා ජෝන් ද සිල්වා රඟහලේ 3.30යි 6.30ටයි. (ජෝන් ද සිල්වා එක තියෙන්නෙ නෙළුම් පොකුණ රඟහල අයිනෙ. ඉස්සර නෙළුම් පොකුණ නැති කාලෙත් ජෝන් ද සිල්වා එක එතන තිබ්බා. නෙළුම් පොකුණ හදන කා‍ලෙ නෙළුම් පොකුණ තියෙන්නෙ කොහෙද කියල ඇහැව්වහම කිව්වෙ ජෝන් ද සිල්වා එක ගාව කියල. දැන් ඉතින් ඔක්කොම කණපිට)

  • මැයි මාසෙ 25 වෙනිදා හවස 3.30ටත් 7.00ටත් හෙන්රි ජයසේනයන්ගෙ හුණුවටයේ කතාව තියනවා ලයනල් වෙන්ටඩ් ශාලාවේ.

  • සෝමලතා සුබසිංහ මහත්මි‍යගෙ විකෘති නාට්‍යය මැයි මාසෙ 26 වෙනිදා (සෙනසුරාදා) හවස 3.30ට සහ 7.00ට තියෙනවා ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ. 

  • උදයසිරි වික්‍රමරත්නගෙ සුද්දෙක් ඔබ අමතයි 27 හවස 3.30ටත් 6.30ටත් තියනවා ලයනල් වෙන්ට් රඟහලේ.

  • එදිනම ගයාන් රන්දීරගෙ ජෝන්ගේ සත්තුවත්ත තියනවා ලුම්බිණි රඟහලේ හවස 3.30ට‍ත් 6.30ටත්.

  • ලබන මාසෙ 07-08-09 රාජිත දිසානායකගෙ නාට්‍යය තුනක් වේදිකා ගතවෙනවා ලයනල් වෙන්ට් රඟහලේ. ඒ නාට්‍යය තුන වෙන්නෙ වීරයා මැරිලා, සිහින හොරු අරන් සහ බකමූණා වීදි බසී.


තවත් නාට්‍යය ගොඩක් තියනවා. මට හදිස්සියට හොයා ගන්න පුළුවන් වුනේ මේ ටික විතරයි. හොයා ගත්ත ගමන් පොඩ්ඩක් දැනුවත් කරන්නම්.


Monday, April 23, 2012

තිස් වසරකට පසු වේදිකා ගතවූ විකෘති

සෝමලතා සුබසිංහ

සිංහල වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහනක් තැබූ අමරණීය චරිතයක්.

විකෘති

ඇගේ අතින් බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක්.

පසුගිය නම වනදා (අප්‍රේල් 09)දා ඇගේ හිතවතුන් පිරිසක් එදින හවස විවේකීව තබාගන්නැයි කියූ ඉල්ලීමට ඇය සවන් දී එදින සවස ජෝන් ද සිල්වා සමරු රඟහලට ඇගේ සැමියා සමග පැමිනෙද්දී ඇය කිසිවිටක අපේක්ෂා නොකල ආකාරයේ  උත්සවයක් සංවිධානය කර තිබුනා.

මීට තිස් වසරකට පෙර වේදිකා ගතවූ ඒ අසහාය වේදිකා නාට්‍යය එකල වේදිකාවේ සිටි නළු නිලියන් බොහොමයකගේ දායකත්වයෙන් සෝමලතා සුබසිංහ මැතිනියට උපහාරයක් වශයෙන් වේදිකා ගතවූවා.

ඉතාමත් කෙටිකාලයකින් පුහුණුවීම් සිදුකර තම අතීත දක්ෂතා මැනවින් නැවත ප්‍රදර්ශණය කිරීමට ඔවුන්ට හැකිවුනා. මෙම දර්ශණය නොමිලේ දර්ශණය කරන ලද්දක්.

චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා, ප්‍රසාද් සූරියආරච්චි, ලලනි පුෂ්පමාලා, මල්කාන්ති ජයසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, සංජීව දිසානායාක, ලාල් සිල්වා, අනුර වීරතුංග, භද්‍රා නන්දනී, නයනා හෙට්ටිආරච්චි, හේමක ඩයස්, වික්‍රම සෙනවිරත්න වැනි වේදිකාවේ පරිනත ශිල්පීන් මේ සදහා තම දායකත්වය ලබාදුන්නා.

නාට්‍යය අවසානයේදි සෝමලතා සුබසිංහ මැතිනියට උපහාර පිදීමක්ද සිදුවූවා. මෙහිදී ඇය ලගන්නා සුළු කතාවක් පැවැත්වූවා.

මෙම නාට්‍යයේ පුහුණුවීම් වල සහ නාට්‍යයේ අවස්ථා රැගත් ඡායාරූප පෙළක් මේ සමගින් ඇත.























Friday, July 23, 2010

දෙබිඩ්ඩෝ


සෑහෙන කාලෙකට පස්සෙ වේදිකා නාට්‍යයක් බැලුවා ගිය සති අන්තයෙ. මං හිතන්නෙ අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉස්සර නම් ඉතින් මාසෙකට එකක් වරදින්නෙ නෑ. ඒකට දැන්. බැලුවෙ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු දෙබිඩ්ඩෝ වේදිකා නාට්‍යය. හාසය්‍යෝත්පාදක නාට්‍යක්. ඇත්තටම හිනාවට වඩා ‍අපේ සමාජයේ නිතරම දකින පැතිකඩකුත් එයින් නිරූපනය වෙනවා.
“ මගේ සල්ලියි ආණ්ඩුව...
ආණ්ඩුව ආරක්ෂා කරන්න මාව බිලිදෙන්නෙ කොහොමද?....
මමනෙ ආණ්ඩුව......”
ජයලත් මනෝරත්නයන්ගෙ ඒ දෙබස නාට්‍යයෙ හරය ගැන ගොඩක් දේවල් කියා පානවා.
1991 වර්ෂයෙ ද්විත්ව නමින් වේදිකා ගතවෙච්ච නාට්‍යය තමයි අද දෙබිඩ්ඩෝ කියල නැවත ප්‍රතිනිර්මානය වෙන්නෙ.  මේ නාට්‍යයෙ ජයලත් මනෝරත්නයන් ද්විත්ව චරිත නිරූපනයක බොහොම අපූරුවට යෙදෙනවා. ජයනි සේනානායක, දමයන්ති ෆොන්සේකා, ජය ශ්‍රී චන්ද්‍රජිත්, ප්‍රසාද් සූරියාරච්චි ආදී සොදුරු නළු නිලියන් රගපානවා.
මේ නාට්‍යය පරිවර්තනයක්. ඉතාලි ජාතික දාරියෝ ෆෝ ගේ Trumpets & Raspberries කියන නාට්‍යය තමයි දෙබිඩ්ඩෝ කියන්නෙ.
ඉතින් ඔබේ නග‍රයේත් දර්ශණයක් තියනවනම් නොවරදවාම නරඹන්න.

ඡායාරූපය ලබාගත්තේ දෙ‍බිඩ්ඩෝ මුහුණුපොතේ සමාජයෙනි