Showing posts with label චිත්‍රපටි. Show all posts
Showing posts with label චිත්‍රපටි. Show all posts

Sunday, January 17, 2016

හෝ ගානා පොකුණ ඇත්තටම දැනෙනවාද?


මීට අවුරුදු 4 කට පමණ පෙර මම කාර්යාලයේ කටයුත්තක් සඳහා නේපාලයට ගියෙමි. ඒ නේපාලයේ ශීත සමය වූ අතර අයිස් මිදීම නිසා කත්මන්ඩු නගරයට ජලයද නොමැතිවිය. නේපාලයේ දී මගේ මිත්‍රයා වූයේ රාජන් ය. ඔහු මට වඩා දෙවසරකින් වැඩිමහල් අතර එවකට බලශක්තිය පිළිබඳ උපාධිධරයෙකු විය. කටකාර තරුණයෙකු වූ රාජන් නිතරම මා සමග දොඩමළු වූ අතර නේපාලයට සුවිශේෂ ආහාර ආදියෙන් මා නිතරම පිනවූයේය. වරෙක මම ඔහුගෙන් සී ෆුඩ් ගැන ඇසුවෙමි. නේපාලයට සී ෆුඩ් පැමිණිම කෙතරම් අපහසුදැයි මා දන්නා නමුත් රාජන් කිසිදා සී ෆුඩ් කා නොමැතිබව ඔහුගෙන් දැනගත් විට මා බොහෝ පුදුමයට පත්වීමි. එදින දවසම ඔහු මුහුද ගැන කතා කලා මට මතකය. ඉන්ටර්නෙට් හොඳින්ම පවතින යුගයක ඔහු මුහුද ගැන බොහෝ දේ සොයාගෙන තිබිනි. මමත් ඔහුට මුහුද ගැන විස්තර කියාදීමි.

සුනාමිය ආ වේලේ මගේ අත්දැකීම් ඔහු සමග බෙදාගතිමි. ඒවා ඔහුට දැනුනාදැයි නොදනිමි. මුහුදක් ඇති නමුත් එය විඳ නැති ඔහුගේ සොබා සෞන්දර්ය ගැන ජීවිතයේ එකම අභිලාශය මිය යාමට ප්‍රථම වෙරළක් අයිනට ගොස් ඉරබසිනා සැන්දෑවක රැල්ල පෑගීමවීම ගැන මම බොහෝ දුක්වීමි. තමන්ට ලැබෙන පඩියෙන් ඉතිරිකර ඔහුටත් ඔහුගේ බිරිඳටත් මුහුදක් ආසන්නයේ රටකට, එකම ගුවන් පථයක් ඇති කත්මණ්ඩුවෙන් පිටවීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නාක් වැනියයි ඔහුම මට පැවසුවා මට මතකය.

සුනාමියෙන් පසු මුහුද ගැන මා සතුව තිබූ ඒ දුක්බරම කතාව නැවත මට මතක් වූයේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ පළමුවන සිනමා නිර්මානය වන හෝගානා පොකුණ නැරඹීමෙන් පසුවය. කෘතිය ගැන පසුවිපරමක් කරන්නට විචාරයක් ලියන්නට තරම් මා සිනමාව ගැන දන්නේ නැති නමුත් කෘතිය පිළිබඳ මට හැඟෙන දැනෙන දේ මම ලියා තබමි.

විප්ලවයක් ගැන කතා කොට, විප්ලවයක් සිදුකර, තවත් විප්ලවයකින් අවසන් වන කතා පුවතක් ඇති මෙය සාමාන්‍ය රජකතාවලින් බොහෝ වෙනස් වන්නේය.

ළමයින්ගේ ආකල්ප ගැන ඔහුගේ විවරණය මා මුලින්ම දුටුවේ ජනාධිපති තාත්තා තුලිනි. කලම්බෝ කලම්බෝ යනු වෙනස්ම ආරක් ගත් වේදිකා නාට්‍යයකි. රාජිත දිසානායකගේ නාට්‍යවලින් පස්සෙ මගේ හිත කම්පනයට පත් කල වේදිකා නාට්‍ය මම දුටුවේ ඔහුගෙනි.

හෝ ගානා පොකුණ නැරඹූ විටද මගේ හිත ඒ ආකාරයටම සැලුනි. වැඩිහිටියන්ගේ හදවත් පසාකරන කුඩා දරුවන්ගේ දෙබස් ඔහු ළමුන් තුලින් අගේට පෙරාගෙන තිබුනි. උදා රැස්වීමේදී කතා කරන සියළු දරුවන්ගේ කතා (විශේෂයෙන්ම තාත්තා හිරේ සිටින දරුවා සහ දෑස් අන්ධ දැරිය) සංවේදී හිත්වලට ඇසට කඳුලක් නැගීමට සමත් නොවුනානම් පුදුමයකි.

යෝගට් කා චන්ඩි බණ්ඩියක් ඇති දරුවන් සහ විවිධ කිරිපිටි බී වැඩුනු කොළඹ ලමයින්ට වඩා මානව දයාව මේරූ බුද්ධිය එම ලමයින්ගෙන් ප්‍රදර්ශනය කිරීමය ඉන්දික ගත් වෙහෙස ප්‍රශංසනීය වේ.
සියළුම නළු නිළියන් (දරුවන්ද ඇතුළුව) තමන්ගේ කාර්ය භාරය මැනවින් තේරුම්ගෙන සිනමා කෘතියට විශිෂට සාධාරණයක් ඉටුකරයි. ඉන්දික ගේ වේදිකා නාට්‍යය බොහොමයකට රංගනයෙන් පණ පෙවූ අනුසයා සුබසිංහ තමන්ගේ කුළුඳුල් සිනමා රංගනය තුල මදක් අධිරංගනයක සිටින බව මට හැඟේ. ඇතැම්විට ඒ වේදිකාවෙන් ලද පන්නරය නිසාම විය හැකිය.

මගේ සිතුවිලි වල විදිහට බස් රථයේ ඩ්‍රයිවර් මහත්තයා ජයලත් මනොරත්නම (අමාරුවෙන් හරි) වූවා නම් අවසානය මීටවඩා ප්‍රායෝගික වන්නට තිබුනා යයි මට සිතේ.

මේ ඉන්දිකගේ පළමු නිර්මාණයයි. නමුත් එය සිංහල සිනමාවේ වැදගත් හැරවුම් ලක්ෂයකි. 

තොටවත්තයන්ගේ හඳයාත් ළමා චිත්‍රපටියක් නොවන බව විචාරයකයෙකු පුවත්පතකට පවසා තිබුනි. හෝගානා පොකුණද ළමා චිත්‍රපටියක් නොවේ යයි මමද විස්වාස කරමි. එය ළමයින් හරහා වැඩිහිටියන්ට ළමුන් ගැන කියාදෙන කතාවකි.

චිත්‍රපටියේ හැටියට ළමුන් අවසානයේදී මුහුද බලා සතුටින් විසිර ගියහ. චිත්‍රපටියට පසුදා මම රාජන් ස්කයිප් හරහා ඇමතුවෙමි. ඔහු තාමත් කත්මණ්ඩුවට වී සිටී.

හෝ ගානා පොකුණ ඇත්තටම දැනෙනවාද?


ඔව් එය මට හොදින් දැනේ...

Tuesday, September 9, 2014

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල 2014

ශ්‍රී ලාංකිකයන්ට අමුතු අත්දැකීමක් ඇතිකල කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පසුගිය 7 වෙනිදා උත්සවශ්‍රීෙයන් අවසන් විය. අන්තර්ජාතිකව සම්මානයට පාත්‍රවූ සිනමා නිර්මාණ 102ක් මෙහි නොමිලයේ ප්‍රදර්ශනය කරන ලදී. ශ්‍රී ලාංකික නිර්මාණ කරුවන් හයදෙනෙකුගේ තවමත් තිරගත නොවූ සම්මානනීය සිනමා කෘති 6ක්ද එයට අඩංගු විය. ඇත්තෙන්ම එකම රාමුවකට කොටුවී සිටි ලාංකික ප්‍රේක්ෂක ජනතාවට සිනමාවෙන් ජීවිතය දකින්නට හැකිවීම මහත්වූ හැකියාවකි.

ප්‍රේක්ෂකයාට ජනප්‍රිය සිනමාව සහ සම්භාව්‍යය සිනමාව අතර වෙනස පහදා දීමට මෙම උළෙල ප්‍රමාණවත්ය. සිනමාවේ පැවැත්මට ප්‍රේක්ෂකයා අවශ්‍යයය වුවත් පැවැත්ම උදෙසා ප්‍රේක්ෂකයාගේ මනසට විකාර ඇතුල් කරන්නේ නම් එම සිනමාවේ පැවැත්මෙන් වැඩක් නැත.

මෙහි පෙන්වූයේ චිත්‍රපටි පමණක් නොවේ. අන්තර්ජාතික මට්ටමේ සිනමා වැඩමුළු මෙන්ම සංගීත වැඩසටහන්ද මෙයට ඇතුලත් විය. බොහෝ චිත්‍රපට අවසානයේ එහි අධ්‍යක්ෂක සමග කතාබහක් කිරීමට ප්‍රේක්ෂක ජනතාවට හැකියාව ලැබුණි.

මෙවන් චිත්‍රපට උලෙලකදී අඩුපාඩු බොහෝ සිදුවෙයි. ඒවා පමණක් දැකීම බොහෝ දෙනෙකුගේ සිරිතයි. එම නිසා මෙහි හොද පැත්ත බොහෝදෙනෙකු නොදකියි.

ඇතැමුන්ට ආරාධනා පත් ලැබී නැත. එය ඕනෑම තැනක සිදුවෙයි. ඒවාට නහයෙන් අඬා වැඩක් නැත. සියල්ලන්ටම චිත්‍රපට පෙන්නුවේ නොමිලයේය. ඉඳින් ආරාධනා අවශ්‍යය නැත. ආරාධනා නොලැබ චිත්‍රපට බැලූ කලාකරුවෝ අපමණ සිටිති.

මෙවැනි උලෙලක සංවිධානය ඉතා බැරෑරුම් කාරයයකි. නමුත් එය සෑහෙන්න හොඳින් ඉටුවී තිබුනි. හිත් රිදවීම් නොවේ නම් එතැන කිසිවක් සිදුනොවේ. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, අනෝමා රාජකරුණා, විමුක්ති ජයසුන්දර වැනි මිනිසුන් රාශියකගේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිපල මිනිසුන් අත්විදී.

සිනමා උලෙල නිමවූයේ ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා කෘතියෙනි. උලෙලේ අවසන සනිටුහන් කල අශෝක හඳගමයන් පැවසූයේ ලබන වසරේත් මෙම සිනමා උලෙල පවත්වන බවයි. එය සිනමාවට කරන තවත්  යහපතක් වනු ඇත.

සිනමා උලෙලේ විශේෂ අවස්ථා රැගත් මවිසින් ගත් ඡායාරූප ඇල්බමයක් මෙම යොමුවේ අඩංගු වේ.

සිනමා උලෙල පිළිබඳ  සියළු විස්තර මෙම යොමුවෙන් ලබාගත හැක.

Monday, November 26, 2012

Colour සිංහල චිත්‍රපටය


ඉසුරු වීරසිංහ මුදලි නැමති තරුණ සිනමාවේදියාගේ කලර් නැමති සිනමා රූප කාව්‍යය නැරඹුවෙමි. මම මහා ලොකු විචාරකයෙක් නොවෙමි. නමුත් එහිදී දැනුනදේ ලියාතබමි.

ඒ ඉසුරුගේ පළමු සිනමා අත්දැකීමයි. මුළු චිත්‍රපටය පුරාම ගලාගෙන යන තිරපිටපතක් එහි අඩංගුය. තිර පිටපතේ මාකටින් පොයින්ට් එක හැටියට ඔවුන් ගන්නේ එහි නළු නිළියන්ගේ චරිත වලට නාමකරණයක් නොමැතිවීමයි. තරුණයා තරුණිය සිත්තරා ලෙස ඒවා ඇතිබව ඔවුන් නැවත නැවත විවිධ තැන්වල පැවසීම නිසා එය මාර්කටින් පොයින්ට් එකක් බව මම විස්වාස කරමි.

ඉසුරු කලින් වැඩ කරන්නේ වෙළද දැන්වීම් සමගය. (මම එසේ ඇසුවේ ඔවුන්ගේ වැඩසටහන් වලිනි) මට හැ‍ඟෙන දැනෙන එවැනි වෙළද දැන්වීම් ගති චිත්‍රපටියේ ද අඩංගු වෙයි. හොඳයයි සිතෙන තිර පිටපතක කාල වකවානු ගැලපීමේදි පිටපතේ ජීවගුණය නැතිවී ගිය අවස්ථා ඇතිවී තිබේ. උදාහරණයක් ලෙස කීවොත් චිත්‍රපටයේ අවසන් භාගයේ සිත්තරා නැවත තමන්ගේ කලාගාරයට යන අවස්ථාව සලකමු. ඔහු එයට යන්නේ කතාවේ හැටියට අඩුම තරමේ අවුරුදු 20-25 කට පමණ පසුවය. (චිත්‍රපටයේ තරුණයාගේ චරිතය රඟපාන ප්‍රියන්ත මංසිළු එහි රඟපාන්නේ අඩුම තරමින් වයස 25ක තරුණයකුගේ චරිතයකැයි මම සිතමි) ඉන්පෙර ඔහු අවසන් වරට එහි ගියේ සඳනි සුලක්ඛනාට දරුවෙකු ඉපදෙන්නට ඉන්නා කාලයේ යැයි ඉඟියක් ඒ තුලින් ජනිත වෙයි. වසර 25කට පසු යතුර සොයාගෙන ගොස් දොර අරින විට කලාගාරය පැරණි වී ඇතිබවට සාක්ෂි දෙකක් වේ. එනම් කලාගාරය තුල හුඹසක් වැඩී තිබීමත් බංකුව දිරා තිබීමත්ය.  දූවිලි ඇත්තේ අවසන් වරට ඇඳි චිත්‍රයේ පමණි. ඉන් පෙර ඇඳි කැන්වස්  චිත්‍ර ඒ ආකාරයෙන් පැවතීම පුදුම සහගතය. කලාගාරයේ වසර විසිපහක් තිස්සේ ඉතිරිවී ඇති අනිත් දෙය නම් සුලක්ඛනා ලියූ ලිපියයි. ලෑලි දිරා ගියද ලිපිය සමග එහි අත් අකුරු වසර 25කට පමන පසුව පැවතීම වෙළඳ දැන්වීමක ස්වරෑපය ගනියි.

කමල් අද්දරආරච්චි නම්  ජ්‍යෙෂ්ට නළුවා චිත්‍රපටය තුල තම අඥාදායකත්වය පතුරවයි. ඇතැම් විට තිර පිටපතේ අවස්ථා නිසා ඒ අවස්ථා මග හැරී යයි. සල්ලිවලට කලාකාමීත්වය විකුනන්නේ නැතැයි කියන ඔහු තම කාමය හමුවේ එය විකුණයි. (මං දන්නෙ නෑ මට හිතෙන හැටි). දර්ශන දෙක තුනක පමණක් පෙනී සිටින ජයනි සේනානායක තමන්ගේ චරිතය මැනවින් රඟපායි. ඒ සඳහා ඇය වේදිකාවෙන් ලබාගත් අත්දැකීම් මොනවට භාවිතා කරයි.

ඉසුරුවැනි තරුණ නිර්මාන කරුවන්ගේ පැමිණිම සිනමාට වැදගත්ය. සිනමාව තුල ඔවුන් තෙම්පරාදු වනවිට තවත් වසර කිහිපයකින් ඔවුන් ඉතාම හොඳ නිර්මාන කරනු ඇත.

මුළු චිත්‍රපටිය පුරාවටම මගේ මතකයේ රැ‍ඳෙන එක දෙබසක් තිබේ. ඒ ශ්‍රීමාල් වෙඩිසිංහ කමල් අද්දර ආරච්චිට කියන "කොල්ලටයි බල්ලටයි හැමෝටම 'ආර්ට්' තේරෙන්නේ නැහැ පුතා."

ඇත්තය. ඇතැම්විට මමද ඇත්තේ එතැන විය හැකිය. නමුත් මේ මගේ අදහසයි.