Thursday, August 27, 2009

සෙනෙහසක අරුත

මේ කවි පන්තිය මගෙ අතට ඇවිත් දැන් අවුරුදු දහයක් විතර ඇති. ඒක මං ගාවට ආවෙ මගෙ අම්මා හන්දා. අම්මා පත්තරේක තිබිල (මතක හැටියට ලක්බිම ඉරිදා සංග්‍රහයෙ) කියවල මේක කපල මට දුන්නෙ කියවන්න. ඒත් අම්ම ඒ කවි පෙළ කපල තියෙන්නෙ ලියපු කෙනාගෙ නමත් එක්ක නෙමෙයි. ඒ හන්ද මේකෙ කතෘ කවුද කියල කියන්න වෙන්නෙ නෑ. කවුරු වුනත් ඒ ලියල තියෙන්නෙ තාත්ත කෙනෙක් හුරතල් පුතු වෙනුවෙන් ලියවුන මම දැකපු රසවිදපු හොදම සහ කවි පංතිය. කාලයක් තිස්සෙ මේ කවි පන්තිය මගේ මේසෙ ඉස්සරහ බිත්තියෙ ගහල තිබ්බා. මේ පැදි පෙළට වහ වැටුනු කිහිප දෙනෙක් මේ කපපු කොළය අරන් ගියා. මම ඒ අරන් ගිය හැම වෙලාවෙම ඒකෙ ආසාව අතහැරගත්තත් මට ඒක නැවත හම්බ වුනා. මේ පද ටික අරන් ගිය අය අතරේ මගෙ ගුරුවරු කිහිපදෙනෙක් වගේම අළුත් තාත්තල වගේම සීයල කිහිප දෙනෙකුත් ඉන්නවා.

මම තාම තාත්ත කෙනෙක් නෙමෙයි. එත් මං පොඩිකාලෙදි මගෙ තාත්ත කොයි විදිහට ඒ දේ විදගන්න ඇත්දැයි හිතනකොට මගේ ඇහැට නම් කදුළක් නැගෙනවා නම් ලියපු කෙනා කොච්චර සංවේදි ඇත්ද? මේ වගේ නිර්මාණයක් කලාය ඔබට පිං. සියුම් සංවේදී හදවත් ඇති ඔබ වෙනුවෙන්...


වස්සාන කාලයේ හිරුමලක් ලෙස පිපුණ

අමාවක පිරුණු රැයේ සද මලක් ලෙස නැගුන

හීත හිරිගඩු පිපුන රැයේ උණුසුම රැගෙන

පුතු වැඩිය රාත්‍රිය සිහිකරමි මම තවම....

සද මලට තරුවලට දෑත දිගුකර යදින

කිරි සිනා මුව අගින් හීනියට ගී ගයන

වැලි දූලි පෙරාගෙන සාලයෙහි දණ ගාන

ජීවිතය නුඹයි පුත.... මගෙ ලොවේ සද පහණ

රැයේ නිදි යහන මත හීනෙනුත් හිනා වෙන

දෙපා පොඩි මුව තබා කිරි උරා බී නිදන

හීන් නෙතු දු‍ටුවහම දිවියෙ වෙහෙසම නිවෙන

කෙලෙස කවි කරමි මම ම’සිත සිතුවිලි කොහොම...?

දෑත ගුලිකර නිතර ඔසවමින් දග කරන

හිනාමල් වත කමල පුරාවට නිති රදන

අම්මගේ උණුසුමට ළංව මට හිනාවෙන

පුතේ නුඹමයි මගේ ජීවිතයේ මිණිපහණ

පැතුම් මල් විකසිතව අප දිනූ දිවියෙ ඉම

නුඹයි සළකුණු කළේ... ඉතින් සතුටුයි බොහොම

අම්මගේ සෙනෙහෙ ලග නුඹ රජෙකු වූවාම

මට ඉඩක් නැතිවුනත්... සතුටු වෙමි මම තාම

1 comment:

  1. Nice verse Achira. It implies fathers love.. Truly!

    ReplyDelete